පාකිස්තානයට එරෙහි දඟයන්ගේ අරගලය

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය

346

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය පසුගිය දා නිමා වෙන්නේ සම ශූරයින් ලෙසින් නම් කෙරෙමින්.

එහි දී දක්ෂතා දැක්වූවන් අතර ඉදිරියෙන් ම සිටින්නේ ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් වීම විශේෂත්වයක්. මේ ඒ පිළිබඳ ව මෙන් ම තරගාවලිය පිළිබඳ ව ThePapare.com කෙරෙන පසු විපරමක්.

35න් 33ක් දඟයන්ට

තරග දෙකේ දී පාකිස්තානයේ දැවී ගිය කඩුලු ප්‍රමාණය 36ක්. ඉන් එකක් දුවද්දී දැවී යෑමක් වන අතර පන්දු යවන්නන්ගේ ගිණුමට අයත් වන්නේ කඩුලු 35ක් පමණයි. ඉන් කඩුලු 33ක ම හිමිකාරිත්වය දඟපන්දු යවන්නන්ට හිමි වෙනවා.

ප්‍රභාත් ජයසූරිය කඩුලු 17ක්, රමේෂ් මෙන්ඩිස් කඩුලු 12ක්, ධනංජය ද සිල්වා කඩුලු 2ක් සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් ලෙසින් එය බෙදී යනවා.

ඉතිරි කඩුලු දෙකෙන් එකක් අසිත ප්‍රනාන්දු සතු වන අතර අනෙක් කඩුල්ල කසුන් රාජිත සතු වෙනවා. ඒ තරගයකට කඩුල්ලක් බැගිනුයි.

දෙවැනි තරගයේ දී පාකිස්තානයේ දැවී ගිය කඩුලු 10න් 17ක් ම බිඳ හෙළන්නේ ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස්.

ප්‍රභාත් ජයසූරිය

මීට පෙර නිමා වූ ඕස්ට්‍රේලියා සංචාරයේ දී කලඑලි බැසි ප්‍රභාත් එම සංචාරයේ පළමු ක්‍රීඩකයන් 18 දෙනා අතර හෝ නොසිටි ක්‍රීඩකයෙක්. ලසිත් ඇඹුල්දෙණියගේ අසාර්ථක වීමත් සහ ප්‍රවීන් ජයවික්‍රමට Covid-19 වයිරසය ආසාදනය වීමත් හේතුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් ප්‍රභාත් අද ලෝක ක්‍රිකට් පිටියේ වඩාත් කතාබහට ලක්ව ඇති ක්‍රීඩකයෙකු බවට පත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග 3ක ඉනිම් 6ක දී දැක්වූ සුවිශේෂී පන්දු යැවීමේ දක්ෂතාවයන් හේතුවෙන්. සිය මංගල ටෙස්ට් තරගයේ දී ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ඉනිම් දෙකේ දී කඩුලු 6 බැගින් බිඳ හෙළු ප්‍රභාත් පාකිස්තානය සමඟ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී කඩුලු 5ක් බිඳ හෙළනවා.

ඒ අනුව ප්‍රභාත් තම පළමු ඉනිම් ත්‍රිත්වය තුළ කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගනිමින් දක්ෂතා දැක්වූ පන්දු යවන්නන් අතර එවැනි දක්ෂතාවක් කළ ලොව තෙවැනි පන්දු යවන්නා බවට පත් වුනා. මේ වාර්තාව ප්‍රභාත් විසින් අලුත් කරන්නේ වසර 96කට පසුව වීම විශේෂත්වයක්.

මීට පෙර මෙම වාර්තාව තබා තිබුණේ 1926 වසරේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් Clarrie Grimmet විසින්. එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කළ තම මංගල ඉනිම් 3 දී ඔහු මෙම වාර්තාගත පන්දු යැවීමේ නිරත වෙනවා.

මේ දක්ෂතාවේ යෙදෙන පළමුවැන්නා වන්නේ එංගලන්තයේ Tom Richardson. ඕස්ට්‍රේලියාවට එරෙහි ව 1893 වසරේ දී ටෙස්ට් වරම් දිනා ගන්නා ඔහු මේ දක්ෂතාව කරද්දී අවුරුදු 23ක යෞවනයෙක්.

එමෙන් ම පළමු ටෙස්ට් තරග 3ක දී ලොව ඉහළ ම දක්ෂතා දැක්වූ පන්දු යවන්නන් අතර 3 වැනි ස්ථානයට පත් වීමට ප්‍රභාත් පත් වීම ද මේ තරගාවලියේ දී සිදු වුනා. මෙහි වඩාත් සුවිශේෂී වන්නේ මේ තිදෙනා අතර පරතරය කඩුලු 2ක් පමණක් වීමයි.

එහි පළමු ස්ථානය 2018 දී ටෙස්ට් වරම් හිමිකර ගන්නා ඉන්දියාවේ Narendra Hirwaniට හිමි වෙනවා. ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 31ක්. ප්‍රභාත් සමඟ සම තැන් ගන්නා ඕස්ට්‍රේලියාවේ Charlie Turner මේ දක්ෂතාව කරන්නේ 1888 දී.

මේ වාර්තාත් සමගින් ප්‍රභාත් පාකිස්තානයට එරෙහි තරග 2ක ඉනිම් 4 තුළ දී පන්දුවාර 164.2ක් යවමින් කඩුලු 17ක් ලබා ගනිමින් දෙරට අතර පන්දු යවන්නන් ලැයිස්තු ගත කිරීමේ දී පළමුවැනියා බවට පත් වෙනවා. මේ දක්ෂතාත් සමගින් ප්‍රභාත්ගේ මේ දක්වා ටෙස්ට් තරග 3ක දී කඩුලු 29ක් ලබා සිටින අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගන්නේ ද ප්‍රභාත්.

රමේෂ් මෙන්ඩිස්

ටෙස්ට් ඉනිම් හී අඛණ්ඩ පන්දු යැවීම්වල නිරත දකුණතින් පිට දඟපන්දු යවන රමේෂ් මෙන්ඩිස් මෙම තරගාවලිය නිමා කරන්නේ පන්දුවාර 97.1ක් යවමින් කඩුලු 12ක් ලබා ගනිමින්. එය තරගාවලියේ පන්දු යවන්නන් ලැයිස්තු ගත කිරීමේ දෙවැනි ස්ථානයට පත් දක්ෂතාවක්.

මෙම දක්ෂතාවත් සමගින් රමේෂ් තම ටෙස්ට් තරග 10ක ඉනිම් 19ක පන්දු යවමින් ලබා ඇති කඩුලු 46ක්. ඉන් කඩුලු 39ක් ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී වාර්තා කිරීම කැපී පෙනෙනවා. ඒ අතර තරගයක ඉහළ ම දක්ෂතාව ලෙසින් වාර්තා වෙන්නේ 2021 නොවැම්බර් මාසයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 136කට ලබා ගත් කඩුලු 11යි.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේ දී පන්දු යවන්නෙක්ට අමතර ව රමේෂ්ගේ පිතිකරු දක්ෂතා ද කැපී පෙනුණා. මේ දක්ෂතාව වඩාත් වැදගත් වෙන්නේ පසුපෙළ ආරක්ෂා කරන විශ්වසනීය පිතිකරුවෙක් ලෙසින් ඔහුගේ නැගී සිටීමයි.

පළමු පෙළ ත්‍රිත්ව ශතක ලාභියෙක් ද වන රමේෂ් මේ දක්වා ටෙස්ට් තරග 10ක ඉනිම් 16ක දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 275ක්. එහි සාමාන්‍ය 18.33ක් වන අතර මෙවර පාකිස්තානයට එරෙහිව නොදැවී වාර්තා කරන ලද ලකුණු 45 ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ලකුණු සංඛ්‍යාව ලෙස ද තම ගිණුමට බැර වුනා.

එමෙන් ම රමේෂ් මෙම තරගාවලියේ දී ඉනිම 4ක දී ලකුණු 113ක් ලබා ගනිමින් ඉදිරි පෙළ පිතිකරුවන් හා සමඟ සම දක්ෂතා පෙන්වූ ලැයිස්තුවට ද එක් වුනා.

දිනේෂ් චන්දිමාල්

දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලියේ පිතිකරු ලැයිස්තුව සැකසෙද්දී දිනේෂ් චන්දිමාල් සහ පාකිස්තානයේ Babar Azam සම ලකුණු ලබා ගෙන තිබුණා. එහි දී චන්දිමාල් ඉනිම් 4 දී සාමාන්‍ය 90.33ක පිතිකරණයක් වාර්තා කරද්දී Babar Azam ගේ එම අගය පැවතියේ 67.75ක සාමාන්‍යයක් ලෙසයි.

ඕස්ට්‍රේලියාවට එරෙහි ව ද්විත්ව ශතකයක් වාර්තා කරමින් පෑ දක්ෂතාවේ උණුසුමත් සමගින් චන්දිමාල් මෙවර තරගාවලිය නිමා කරන්නේ ද තම පිතිකරු දක්ෂතා මනාවට විදහා පාමින්. ඔහුගේ ඉනිම් 4 සටහන් වෙන්නේ 76 – 94* – 80ක් සහ 21ක් ලෙසින්.

ධනංජය ද සිල්වා

 

අවසන් තරගය ගොඩගත් පිතිකරුවා බවට පත් ධනංජය ද සිල්වා එම තරගයේ වීරයා බවට ද පත් වූවා. ජයග්‍රහණය අනපේක්ෂිතව තිබූ එම තරගයේ දෙවැනි ඉනිමේ දී පන්දු 171කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 109ක් ලබා ගැනීමට ඔහු සමත් වූයේ තම ටෙස්ට් තරග දිවියේ 9 වැනි ශතකය ද වාර්තා කරමින්.

ඔහු ඊට පෙර අවසන් වරට ශතකයක් වාර්තා කර තිබුණේ ද ගාල්ල ක්‍රීඩාංගණයේ දී වීම විශේෂයි. ඒ පසුගිය වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගයේ දී. එතැන් සිට ඉනිම් 12ක ඔහුගේ දීර්ඝ ඉනිමක් ලෙසින් සටහන් වුනේ බංග්ලාදේශයට එරෙහිව ලබා ගත් ලකුණු 58 පමණයි.

ඇන්ජලෝ මැතිව්ස්

මෙම තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ දී තම ශතක සංවත්සර තරගයට සහභාගී වීමට ඇන්ජලෝ මැතිව්ස්ට හැකි වුනා.

මීට වසර 13කට පෙර 2009 ජූලි මාසයේ දී නාඹර ගැටයෙක්ව සිටි මැතිව්ස්, තම මංගල ටෙස්ට් තරගයට එක් වෙන්නේ ද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පාකිස්තාන කණ්ඩායමට එරෙහිවයි. මෙදා තරගය සේ ම එදා තරගය ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රහණයෙන් කෙළවර කරමින් මැතිව්ස්ගේ කඩඉම සුවිශේෂී එකක් බවට පත් කළා.

එදා කුමාර් සංගක්කාර යටතේ ටෙස්ට් තරග පිටියට පිවිසි මැතිව්ස්, මෙරට නියෝජනය කරමින් ටෙස්ට් තරග 100කට සහභාගී වූ අතලොස්සක් වූ ක්‍රීඩකයන් අතරට එක් වෙන්නේ 6 වැනියා ලෙසින්. මීට පෙර සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර මේ කණ්ඩායමට ඇතුළත් වුනා.

තම මංගල ටෙස්ට් තරගයේ දී පළමු ඉනිමේ දී අංක 7 පිතිකරු ලෙසින් පිටියට පිවිසෙන මැතිව්ස් පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමගින් ලකුණු 42ක් ලබා ගන්නවා. මැතිව්ස්ගේ ශතක සංවත්සර පළමු ඉනිම ද එම ලකුණු සංඛ්‍යාවෙන් ම නිමා වෙන්නේ මැතිව්ස්ට තවත් තවත් සුවිශේෂී මතකයක් එක් කරමින්.

වෙල්ලාලගේට ටෙස්ට් වරම්

19 වැනි හැවිරිදි දුනිත් වෙල්ලාලගේ දෙවැනි ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා ටෙස්ට් වරම් හිමි කර ගන්නවා. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගන්නා 162 වැනි ක්‍රීඩකයා ලෙසයි ඔහුගේ නම  ඉතිහාසයට එක්වෙන්නේ.

කෙසේ නමුත් තම පළමු ටෙස්ට් තරගයේ දී වෙල්ලාලගේ ට සිතූ තරම් දෙයක් කරන්නට හැකි වෙන්නේ නැහැ. පිතිකරුවෙක් ලෙසින් ඉනිම 2 දී ලකුණු 29ක් ලබා ගන්නා වෙල්ලාලගේ පන්දු යැවීමේ දී පන්දු වාර 13ක් යවමින් ලකුණු 35ක් ලබා දුන්න ද එක ම හෝ කඩුල්ලක් දවා ගැනීමට සමත් වෙන්නේ නැහැ.

අහිමි වූ 3 නැවත ලබා ගැනීම

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන විට ශ්‍රී ලංකාව ICC ටෙස්ට් ශූරතාවලියේ තෙවැනි ස්ථානය දිනා සිටියා. මේ හේතුවෙන් සහ ඒ උණුසුමේ ම නිමා වූ ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය ද 1-1ක් සේ සම ශූරතාව දිනා සිටි බැවින් අපේ ක්‍රීඩකයන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වුනා. ඒ පාකිස්තානය පහසුවෙන් ම පරාජය කරනු ඇතැයි යන විශ්වාසයයි.

නමුත් පළමු ටෙස්ට් තරගාවලියේ දී පාකිස්තාන නායක Babar Azam සහ Abdullah Shafique එක් ව ශ්‍රී ලංකාව පරාජයට ඇද දැමුවා. එම තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලැබූ පාකිස්තානුවෝ එතෙක් ICC ටෙස්ට් ශූරතාවලියේ අප සිටි ස්ථානය ආක්‍රමණය කළා. ඒ අප ව හය වැනි ස්ථානයට තල්ලු කරමින්.

මේ අතර කොළඹ දී පැවැත්වීමට තිබූ දෙවැනි ටෙස්ට් තරගය ගාල්ලට සේන්දු වෙනවා. ඒ රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් කොළඹට වඩා ගාල්ල ආරක්ෂිත බැව් තීරණය කෙරමින්.

ඒ අනුව ගාල්ලේ දී පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දී අපේ ක්‍රීඩකයෝ ලකුණු 246ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරන්න සමත් වුනා. එම ජයග්‍රහණය ඉතිහාසයට එක් වුනේ පාකිස්තානයට එරෙහිව වාර්තා කරන ලද ඉහළ ම ජයග්‍රහණය ලෙසයි. ඊට පෙර ශ්‍රී ලංකාව ඉහළ ම ලකුණු ප්‍රමාණයකින් පාකිස්තානය පරාජය කර තිබුණේ 2012 වසරේ දී. ගාල්ලේ දී ම පැවති එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 209ක ජයක් වාර්තා කරනවා.

පළමු තරගයෙන් අපට අහිමි වූ ICC ටෙස්ට් ශූරතාවලියේ ස්ථානය නැවත ඒ අයුරින් ම ලබා ගැනීමට මේ වාර්තාගත තරගය හේතු වුනා. තරගාවලිය 1-1ක් ලෙසින් නිමා වෙද්දී ශ්‍රී ලංකාව 53.33ක ජයග්‍රාහී ප්‍රතිශතයක් වාර්තා කළා. එම පරාජයත් සමඟින් පාකිස්තානය 5 වැනි ස්ථානයට ඇඳ වැටුණ අතර ඔවුන් සතු වූ ලකුණු ප්‍රතිශතය 51.85ක්.

මේ වන විට දකුණු අප්‍රිකාව ලකුණු 71.43ක ජයග්‍රාහී ප්‍රතිශතයක් සමඟින් ICC ලෝක ටෙස්ට් ශූරතාවයේ පෙරමුණේ පසුවෙන අතර ඕස්ට්‍රේලියාව 70.00ක ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයේ පසු වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<