කොරෝනා සහ බාධක මැද වාර්තා සමඟ නිමා වූ Warne – මුරලි කුසලානය

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

282

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති Warne – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පසුගිය දා 1-1ක් ලෙසින් නිමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.

එම නිමාවත් සමඟින් මේ දක්වා පැවති Warne – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිවල තව දුරටත් පෙරමුණ ගැනීම ඕස්ට්‍රේලියානුවෝ සමත් වෙනවා. මෙතෙක් දෙරට අතර අවස්ථා 6ක දී මෙම තරගාවලිය පවත්වා ඇති අතර ඉන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් 2016 වසරේ පැවති තරගාවලිය පමණයි.

Warne – මුරලි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය

වසර පැවැති රට ජයග්‍රහණය තරග ප්‍රතිඵලය
2007/08 ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාව 2 2-0
2011 ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව 3 1-0
2012/13 ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාව 3 3-0
2016 ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව 3 3-0
2018/19 ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාව 2 2-0
2022 ශ්‍රී ලංකාව විසඳුමක් නෑ 2 1-1

කෙසේ වෙතත් තරග දෙකකින් යුත් මෙවර තරගාවලියේ පළමු තරගය දින තුනක් තුළ අවසන් වෙමින් කඩුලු 10ක පරාජයක් ලැබූ මෙරට ක්‍රීඩකයෝ දෙවැනි තරගය ඉනිමකින් ජයග්‍රහණය කරමින් තරගාවලිය සම කිරීමට සමත් වුනා. එකී දක්ෂතාවත් සමඟින් ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී අපේ ක්‍රීඩකයෝ තෙවැනි ස්ථානය දක්වා උසස් වීම් ලැබීමත් සුවිශේෂයි.

එම ජයග්‍රහණයත් සමඟින් මෙවර තරගාවලිය නිමා වෙන්නේ දිනේෂ් චන්දිමාල්ගේ සහ ප්‍රභාත් ජයසූරියගේ දක්ෂතා වඩාත් වැඩි සැලකිල්ලට ලක් වෙමින් සහ ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ඇරඹි කොරෝනා රැල්ල ගැන ද පැවසෙමින්.

පළමු තරගයේ දී මෙරට ක්‍රීඩකයෝ අතීශය අසාර්ථක වූ අතර ඔවුන් වෙනුවෙන් සටහන් තැබීමට ඇති එක ම සිදුවීම වන්නේ මැතිව්ස්ට කොරෝනා ආසාදනය වීමයි. ඔහු වෙනුවට ඕෂද ප්‍රනාන්දු පිටියට කැඳවෙන අතර දෙවැනි තරගයේ දී ඔහුට නැවත වතාවක් එම අවස්ථාව හිමි වෙන්නේ පැතුම් නිස්සංකට ද කොරෝනා ආසාදනය වීම නිසයි.

කෙසේ වෙතත් නිමා වූ දෙවැනි තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අළු ගසා දමා නැගී සිටිමින් මෙරට ක්‍රිකට් ඉතිහාසයට අලුත් ඡේද කිහිපයක් ම එක් කරනවා.

ඒ අතරින් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 554 ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙරට ක්‍රීඩකයෝ ඉනිමක දී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් කරනවා. එමෙන් ම එය දෙරට අතර ටෙස්ට් ඉතිහාසයේ ඉනිමක දී ලබා ගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ද වුනා. 1995 දී ඕස්ට්‍රේලියාව Perth හි දී කඩුලු 5කට ලබා ගත් ලකුණු 617 එහි ඉහළින් ම වාර්තා වී තිබෙනවා.

දෙවැනි තරගයේ දී ශ්‍රී ලංකාව ලත් ජයග්‍රහණය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලත් ප්‍රථම ජයග්‍රහණය ලෙසින් ද ඉතිහාසයට එක් වෙද්දී, මෙරට ක්‍රීඩකයෝ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී වාර්තා කරන ලද තෙවැනි තැනට පත් ඉනිම ලෙසින් ද ඉතිහාසයට එක් වුනා. එහි පළමු ස්ථානයට බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2001 වසරේ දී කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 590 සහ 2013 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 4ක් දැවී ලබා ගත් ලකුණු 570ත් එහි ඉහළින් සටහන්ව තිබෙනවා.

එමෙන් ම මෙම තරගයේ දී ඕස්ට්‍රේලියාව ඉනිමකින් පරාජය වෙන්නේ 2016 වසරට පසුව වීමත් විශේෂයි. ඔවුන් අවසන් වරට ඉනිමකින් පරාජය වෙන්නේ 2016 වසරේ දී දකුණු අප්‍රිකාව ඉදිරියේ.

මේ සියලු දේ සමඟින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරග ඉතිහාසය මෙතෙක් තරග 33කින් නිමා වෙනවා. ඉන් තරග 5ක ජයග්‍රහණය අප සතු වෙද්දී ප්‍රතිවාදීන් තරග 20ක ජයග්‍රහණ හිමිකර ගන්නවා. විසඳුමකින් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 8ක්.

දිනේෂ් චන්දිමාල්

අවසන් ටෙස්ට් තරගයේ දී නොදැවී ලකුණු 206ක් ලබා ගත් දිනේෂ් චන්දිමාල් තම ටෙස්ට් තරග 68ක හොඳම ඉනිමයි එදින වාර්තා කළේ. එම ඉනිම ඕස්ට්‍රේලියාවට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමුවැන්නා බවට ද පත් කළා. ඔහුට පෙර මෙතෙක් එම ලැයිස්තුවේ පළමුවැනියා බවට පත් ව සිටියේ කුමාර් සංගක්කාර. ඔහු 2007 වසරේ දී ලකුණු 192ක් එරට දී වාර්තා කරනවා.

එමෙන් ම චන්දිමාල් වාර්තා කරන ලද ද්විත්ව ශතකය ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙරට ක්‍රීඩකයෙක් විසින් වාර්තා කරන ලද 5 වැනි ද්විත්ව ශතකය වන අතර මෙරට පිතිකරු වංශ කතාවේ ත්‍රිත්ව ශතක ත්‍රිත්වයට පසුව වාර්තා කරන ලද 34 වන ද්විත්ව ශතකය ද වෙනවා.

ප්‍රභාත් ජයසූරිය

ඕස්ට්‍රේලියාවට එරෙහිව නම් කරන ලද සංචිතයේ නොසිටි 30 හැවිරිදි වමතින් දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරිය කොරෝනා වින්දිතයන් හේතුවෙන් මෙන් ම පළමු තරගයේ දී අසාර්ථක වූ ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට කණ්ඩායමට එක් වූ ක්‍රීඩකයෙක්.

දෙරට අතර පැවති අවසන් ටෙස්ට් තරගයේ දී තම මංගල තරගයට ක්‍රීඩා කළ ප්‍රභාත් ජයසූරිය මංගල තරගයක දී ශ්‍රී ලාංකික පන්දු යවන්නෙක් වාර්තා කරන ලද ඉහළ ම දක්ෂතාව වාර්තා කිරීමට සමත් වුනා.

මීට පෙර එහි හිමිකරු වුනේ ප්‍රවීන් ජයවික්‍රම. ඔහු පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී බංග්ලාදේශයට එරෙහි පැවති තම මංගල තරගයේ දී ලකුණු 178කට කඩුලු 11ක් දවා ගත්තා. එය ජයසූරිය සතු කර ගත්තේ ලකුණු 177කට කඩුලු 12ක් දවා ගනිමින්.

එමෙන් ම කෝඩුකාර තරගයක ප්‍රවීන් ජයවික්‍රම සතු කරගෙන සිටි ඉනිමක හොඳම පන්දු යැවීම ද ජයසූරිය මෙම තරගයේ දී සතු කර ගත්තා. ප්‍රවීන් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 92කට ලබා ගත් කඩුලු 6 දක්ෂතාව ජයසූරිය සතු කර ගත්තේ ලකුණු 59කට කඩුලු 6ක් දවා ගනිමින්. එහි තෙවැනි ස්ථානය ද හිමි කර ගැනීමට ජයසූරිය සමත් වුනා. ඒ පළමු ඉනිමේ දී ලකුණු 118කට කඩුලු 6ක් දවා ගනිමින්.

එමෙන් ම ඔහුගේ මෙම දක්ෂතාව මෙරට ක්‍රීඩකයෙක් ඕස්ට්‍රේලියාවට එරෙහි ව පෑ ඉහළ ම දක්ෂතා අතර දෙවැනි තැන ගන්නවා. එහි පළමු ස්ථානය හිමි වෙන්නේ රංගන හේරත්ට. ඔහු 2016 වසරේ දී ඔවුන්ට එරෙහි ව ලකුණු 145කට කඩුලු 13ක් දවා ගන්නවා.

ගාල්ල ක්‍රීඩාංගණයේ දී පෑ දක්ෂතා ලැයිස්තු ගත කිරීමේ ප්‍රභාත්ට හිමි වෙන්නේ තෙවැනි ස්ථානය. එහි පළමු ස්ථානය 2000 වසරේ දී මුත්තයියා මුරලිදරන් දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 171කට දවා ගත් කඩුලු 13ත් සහ 2012 වසරේ දී රංගන හේරත් එංගලන්තයට එරෙහිව ලකුණු 171කට දවා ගත් කඩුලු 12ත් ලැයිස්තු ගතව තිබෙනවා.

කෝඩුකාර තරගයක ලෝක ලැයිස්තු ගත කිරීමේ දී ප්‍රභාත්ගේ දක්ෂතාවට හිමි වෙන්නේ සිව්වැනි ස්ථානය. ඉන්දියාවේ Narendra Hirwani 1988 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 136කට කඩුලු 16ක් දවා ගනිමින් පළමු ස්ථානයේ රැඳී සිටිනවා. එහි දෙවැනි තැන හිමිව ඇත්තේ ඕස්ට්‍රේලියාවේ Bob Massieට. ඔහු 1972 දී එංගලන්තයට එරෙහිව ලකුණු 137කට කඩුලු 16ක් දවා ගන්නවා. එංගලන්තයේ Fred Martin එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත්වෙන්නේ 1890 දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 102කට කඩුලු 12ක් දවා ගනිමිනුයි.

කෙසේ වෙතත් මෙම ලැයිස්තුවේ පළමු 5 දෙනා යාවත්කාලීන කිරීමේ දී ජයසූරියගේ දක්ෂතාවට වඩා වටිනාකමක් හිමි වෙනවා. ඒ වසර 14කට පසුව මෙවැනි දක්ෂතාවකට එළඹීමයි. අවසන් වරට මෙය යාවත්කාලීන වී ඇත්තේ 2008 වසරේ දී ඕස්ට්‍රේලියාවේ Jason Krejza ඉන්දියාවට එරෙහිව ලකුණු 358කට කඩුලු 12ක් ලබා ගනිමින් පෑ දක්ෂතාවයි.

කොරෝනා ආසාදිතයෝ

මෙම තරගාවලිය අතරතුර දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ට ම කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් කණ්ඩායම හැර යන්න සිදු වුනා. එහි ආරම්භයා වුණේ ඇන්ජලෝ මැතිව්ස්. පළමු තරගයේ දී ම ඔහුට තරගය හැර යන්නට වෙන්නේ තෙවැනි දිනයේ පෙරවරුවේ.

ඉන්පසුව පිළිවෙළින් ප්‍රවීන් ජයවික්‍රම, අසිත ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා සහ ජෙෆ්රි වැන්ඩර්සේ ද වයිරසය ආසාදනය වීම හේතුවෙන් කණ්ඩායම හැර යන්නට සිදු වෙනවා. අනතුරුව දෙවැනි තරගයට ක්‍රීඩා කරද්දී පැතුම් නිස්සංක ද එම ගොඩට ම එක් වෙනවා.

නවකයෝ

නවකයන් ලෙසින් මෙම තරගාවලියේ පළමු තරගයේ දී ජෙෆ්රි වැන්ඩර්සේ වරම් දිනා ගන්නවා. ඔහු එම තරගයේ දී ලකුණු 68කට කඩුලු 2ක් දවා ගත් අතර දෙවැනි තරගයට ඔහුට අහිමි වෙන්නේ කොරෝනා ආසාදනය වීම හේතුවෙන්.

ඊට පසුව පැවති දෙවැනි තරගයේ දී මහීෂ් තීක්ෂණ, කමිඳු මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය මංගල ටෙස්ට් වරම් දිනා ගන්නවා.

ඒ අතරින් ප්‍රභාත් ජයසූරිය සුපිරි දක්ෂතා දක්වද්දී මහීෂ් තීක්ෂණට පළමු ඉනිමේ දී කඩුල්ලකින් ද සහ දෙවැනි ඉනිමේ දී කඩුලු 2ක් ද ලෙසින් ලකුණු 76කට කඩුලු 3ක් දවා ගනිමින් සෑහීමකට පත් වෙන්නට සිදු වෙනවා.

ගාලු ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් සිය මංගල තරගයේ දී ම මංගල අර්ධ ශතකලාභීන්ගේ ලැයිස්තුවට එක් වීමට සමත් වෙනවා. එම ලැයිස්තුවේ කමිඳුට හිමි වූයේ 12 වැනි ස්ථානයයි.

මේ දක්ෂතාත් සමඟින් එළඹෙන පාකිස්තාන තරගාවලිය වඩාත් තරගකාරී වනු ඇතැයි විශ්වාස කළ හැකියි. ඕස්ට්‍රේලියාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය අපේ ක්‍රීඩකයෝ පරාජය වූවත්, පැවති එක්දින තරගාවලිය ජයග්‍රහණය කරමින් සහ ටෙස්ට් තරගාවලිය සම කිරීමෙන් වූ ප්‍රතිඵලය, පාකිස්තාන ක්‍රීඩකයන්ට ද අපේ ක්‍රීඩකයන් කෙරෙහි වඩාත් සැලකිලිමත් විය යුතුය යන විධානයක් වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<