උනන්දුවාගේ කෝණය

8495
Chamika Karunaratne
Viraj Kothalwala
 

ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් සමන්විත වන්නේ ක්‍රීඩකයන් එකොළොස් දෙනෙකුගෙනි. ඊට විවිධාකාරයේ දස්කම් ඇති එකොළොස් දෙනෙකු ඇතුළත් විය යුතුය. “උනන්දුවෙකුට” එහි ඇති ස්ථානය, කණ්ඩායම විසින් ලබන ජයග්‍රහණයන්හි තීරක බලවේගයකි.

සනත් ජයසූරිය වැනි ප්‍රහාරාත්මක පිතිකරුවන් එකොළොස් දෙනෙකුගෙන් සමබර කණ්ඩායමක් නිර්මාණය වන්නේ නැත. මුත්තයියා මුරලිදරන් වැනි පන්දු යවන්නන් එකොළොස් දෙනෙකුගෙන් සමබර කණ්ඩායමක් නිර්මාණය වන්නේ ද නැත. එසේ නම් සෑම විටම සමබර කණ්ඩායමක් නිර්මාණය කරන්නේ “විවිධත්වයයි”.

සනත් ජයසූරිය වැනි ප්‍රහාරාත්මක පිතිකරුවන්, මාවන් අතපත්තු වැනි තාක්ෂණය සහිත පිතිකරුවන්, අරවින්ද ද සිල්වා වැනි හඹායන්නන්, ඇන්ජලෝ මැතිව්ස් වැනි තරග අවසන් කරන්නන්, චමින්ද වාස් වැනි වේගපන්දු යවන්නන්, මුත්තයියා මුරලිදරන් වැනි දඟපන්දු යවන්නන් සහ කුමාර් ධර්මසේන වැනි “උනන්දුවන්” කණ්ඩායමක සිටිය යුතුය. ඒ කුමන හෝ නිශ්චිත අවස්ථාවක දී ඒ එක් එක් ක්‍රීඩකයාට අනන්‍ය වූ දස්කමක් කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රධාන සාධකයක් විය හැකි බැවිනි.

කුමාර් ධර්මසේන උඩපන්දුවක් රැකගෙන හතරේ සීමාව පසුකරයි

උනන්දුවන්ට ඇතැමුන් අකමැති ය. විවාහ මංගලෝත්සව හිදී හෝ ඇතැම් විට අවමංගලෝත්සවවල දී ඔබ මෙවැන්නන් දැක ඇතුවාට සැක නැත. තරුණයන් හතර පස් දෙනෙකු එකතු කරගෙන කඩිසරව එහා මෙහා දිව යමින් එහි වැඩිම බර අදින්නා සේ කැපී පෙනෙන්නේ උනන්දුවන් ය.

ඔවුන්ට සෙමෙන් ගමන් නැත. සෑමවිටම කැපී පෙනෙන්නට උත්සාහ කරයි. එහෙත් වැදගත්ම සාධකය නම්, එවැනි උනන්දුවන් නොවන්නට ඒ කුමන හෝ උත්සව අවස්ථාවක දී අත්‍යාවශ්‍යම දෑ සම්පාදනය කර ගැනීම අපහසු කටයුත්තක් වීමයි. තිරය පිටුපස සිට වැඩිම බර අදින්නේ ඔවුන් ය.

ක්‍රිකට් කණ්ඩායමකට ද එසේමය. කණ්ඩායමේ දැවැන්තයන් ස්ථාවර ක්‍රීඩා රටාවක නියැලෙද්දී සෙසු ක්‍රීඩකයන්ව උද්යෝගයට පත්කරමින් විදුලියක් සේ සියලු තැන්හි සරමින් තරගයේ තීරණය තම කණ්ඩායමට රැගෙන එනු වස් කැපවන්නේ උනන්දුවන් ය.

තරග දිනය අවසානයේ ඔවුන්ගේ නිල ඇඳුම් දුහුවිල්ලෙන්, මඩින් නැහැවී ගොස් ය. දණහිස්, වැලමිටවල් හෑරී ගොසිනි. තරගය මැද දී මෙන්ම තරගයෙන් පිටත දී ද ඔවුන්ට වෛරක්කාරයන් බිහිව ඇත. ඒ ඔවුන්ගේ උනන්දුව ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ට ද හිසරදයක් වන බැවිනි.

කුමාර් ධර්මසේන, උපුල් චන්දන, තිලකරත්න ඩිල්ෂාන් වැනි උනන්දුවන්ගේ ලැයිස්තුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ ඇත. ක්‍රීඩකයන්ගේ නම් දුටුවනම, ඔවුන්ට “උනන්දුවන්” යැයි හඳුන්වන්නේ මන්දැයි ඔබට දල අදහසක් ලැබෙන්නට ඇතැයි සිතමි.

ඔවුන් රටෙහි සිටි දක්ෂතමයන් නොවේ. එහෙත් කැපවීමෙහි සමතුන් ය. ඔවුන්ට ලකුණු දත්ත අදාළ නැත. තරගයෙහි ඒ ඒ මොහොතට අත්‍යාවශ්‍යම කර්තව්‍යය කිරීමේ අභියෝගය ගැනීමට ඔවුන් ඕනෑම මොහොතක සූදානම් ය.

තමන්ගේ පෞද්ගලික ලකුණු දත්ත පසෙක දමා රට පෙරට තබා ක්‍රීඩා කරති. තම ලකුණු සාමාන්‍යයන්, කඩුලු ලබා ගැනීමේ සාමාන්‍යයන් ඉක්මවා ඔවුන් දස්කම් දක්වන ඕනෑම අවස්ථාවක දී තරගයේ ජයග්‍රහණය අයත් වූයේ ශ්‍රී ලංකාවට ය.  ඒ ඔවුන් සැබවින්ම තරග දිනවන්නන් වූ බැවිනි.

කුමාර් ධර්මසේන පන්දුවක් යවමින්

කුමාර් ධර්මසේන යනු 1996 ලෝක කුසලාන ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි උනන්දුවාය. ඔහු මූලික වශයෙන් පන්දු යවන්නෙකි. දේශීය තලයේ දක්ෂ පිතිකරුවෙකු ද වූ නිසා පිතිකරණයෙහි හැකියාව ද තිබිණි. පන්දු රැකීමේ දී සෑමවිටම ශරීරය ඉදිරියට දමා ජීවිත පරිත්‍යාගයෙන් පන්දු රැකි පන්දු රකින්නෙකි. ඔහුගේ උනන්දුව ඒ සියල්ලට ඉහළින් තිබිණි.

1996 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාවට එරෙහිව ඔහුගේ උනන්දුව කෙතරම් මට්ටමක තිබුණේ ද යත්, නායක අර්ජුන රණතුංග හට ඔහුව පාලනය කරගන්නට වූයේ තරවටුවකිනි. ඒ උනන්දුවන්ගේ ස්වභාවයයි.

ප්‍රතිවාදීන් හා මුහුණට මුහුණ ගැටීමට ඔවුන්ට බියක් නැත. තරගය ඔවුන්ගේ ජීවිතයයි. තමන්ට දස්කම් දක්වන්නට ලැබෙන්නේ කුමන අංශයකින් ද යන්න නොසලකා දිනයේ හොඳම දස්කම් දැක්වීම ඔවුන්ගේ අභිප්‍රායයි.

උපුල් චන්දන, ඉන්පසුව බිහි වූ කැපී පෙනෙන උනන්දුවා ය. තරගයක ලකුණු වේගය ඉහළ නංවා ගැනීමට අවශ්‍ය වූයේ නම් ඔහු දිවි පරදුවට තබා ලැයිස්තුවේ ඉහළින් පන්දුවට පහර දීමට පැමිණියේය.

පන්දු රැකීමේ දී සෑමවිටම දුවද්දී දවා ගැනීමක්, උඩපන්දුවක් ලබා ගත හැකි මොහොතක් එළඹෙන තුරු මාන බැලුවේය. අත්‍යාවශ්‍යම මොහොතේ දී යම්කිසි ක්‍රමයකින් ශ්‍රී ලංකාව ජය මාවතට රැගෙන ගියේය. ඔහු විසින් පහළ මැදපෙළ සිට ක්‍රීඩා කළ අගනා ඉනිම් කිහිපයක්ම අවසන් වූයේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ගෙන එමිනි.

උපුල් චන්දන කඩුල්ලක් සමරමින්

පන්දු යැවීම ඔහුගේ පළමු රාජකාරිය වුවත් හතරේ සීමාව පැන පිටියට පිවිසි මොහොතේ සිට ඔහු ක්‍රීඩා කළේ ජීවිත පරිත්‍යාගයෙනි. 1996 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පන්දු රැකීමට පිවිසි ඔහු, කුපිත වී සිටි ඉන්දියානු ප්‍රේක්ෂකාගාර අසල පන්දු රැකීමට ගියේ ස්වේච්ඡාවෙනි. ඒ අරවින්ද ද සිල්වා හතරේ සීමාව අසල පන්දු රකිනු දැක, ඔහුගේ ආරක්ෂාව ගැන සිතා ය. ඉතින් එවැනි උනන්දුවන් කණ්ඩායමක සිටිය නොයුතු ද?

තිලකරත්න ඩිල්ෂාන් යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි බහුවිධ දස්කම් ඇති උනන්දුවෙකි. තරගයක් ලෙහෙසියෙන් අත් නොහරින්නෙකි. ප්‍රබල ආරම්භක පිතිකරුවෙකු ලෙස කැපී පෙනෙන්නට පෙර ඩිල්ෂාන්ගේ ඒ “උනන්දුවා” දස්කම් කට්ටලය ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් විය. 2007 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේ දී මහේල ජයවර්ධන සෙමෙන් ශතකයක් වෙත ළඟා වෙමින් සිටින විට අංක 6න් පිටියට පිවිස මහේලගේ පීඩනය සම්පූර්ණයෙන්ම ඉවත් කළේ ඔහු ය. ඒ පන්දු 27ක දී ලකුණු 30ක් රැස්කරමිනි. එදින ඔහු කඩුලු දෙකක් ද වාර්තා කළේය.

ටී. එම්. ඩිල්ෂාන් දුවද්දී දවා ගැනීමක් ලබාගෙන

2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී විරාත් කෝලිගේ කඩුල්ල දවා ගනිමින් කඩා වැටී තිබූ ශ්‍රී ලංකා ක්‍රීඩාගාරයට ජවයක් ගෙන ආවේ ද ඔහු ය. ඕනෑම මොහොතක දුවද්දී දවා ගැනීමක්, උඩපන්දුවක් ලබා ගැනීමේ පිපාසාවෙන් සිටියේය. පන්දු යැව්වේය, කඩුලු ද රැක්කේය. අංක එකේ උනන්දුවෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිස, පසුව පරිපූර්ණ ආරම්භක පිතිකරුවෙකු බවට පත්විය.

මේ උනන්දුවන්ගේ ස්වභාවයයි. එහි අලුත්ම ලාංකික සාමාජිකයා වන්නේ චාමික කරුණාරත්න ය.

ක්‍රීඩාශීලී පුතුන් සිව්දෙනෙකු සිටින නිවසක් කවරාකාර හැකි දැයි සිතන්නට පාඨක ඔබට කාලය ලබා දෙමි. එය නම් කරුණාරත්න දෙමාපියන්ට අතිශයින්ම අපහසු කරුණක් වූ බවට සැකයක් නැත. බැඩ්මින්ටන් ක්‍රීඩාව ප්‍රමුඛ ක්‍රීඩාව කර ගත් පවුලක බාලයා චාමික තම සොහොයුරන් සමඟ නිවසේ ක්‍රීඩා කරන සමයේ දී ම තරගකාරී වන්නට උගත්තෙකු විය හැකිය. තමන්ට වඩා වයසින් වැඩි සොහොයුරන් හා කරට-කර හැප්පී ලබා ගත් පන්නරය අද ඔහුගේ ක්‍රිකට් දිවිය සරසවමින් ඇති අයුරු දකිමින් අපි සතුටු වන්නෙමු.

කරුණාරත්න පවුලේ පුතුන් සහ පියා

ජයග්‍රහණ පිපාසයෙන් කලක් පීඩා විඳි ශ්‍රී ලංකා කණ්ඩායම, 2022 ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේ දී ක්‍රීඩා කළ එක්දින තරගාවලිය මෙරට නූතන ක්‍රිකට් ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයකි.

ඉන්පෙර ජයග්‍රහණ ලැබූ තරගාවලි අතරින් පතර වීමුත්, ශ්‍රී ලංකාවට හුරු පුරුදු සටන්කාමී ක්‍රිකට් යළි කරළියට ගෙන එන්නට මේ තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වූයේ පැරණි ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ නොස්ටැල්ජියාව නොහොත් අතීතකාමය ද බරපතළ ලෙස අවුස්සමිනි.

ඉන් තරග තුනක්ම ඉතාම සටන්කාමී ජයග්‍රහණ වලින් අවසන් විය. තරගාවලියේ පළමු, දෙවැනි, සිව්වැනි සහ පස්වැනි තරග හතරෙ හිදී චාමික කරුණාරත්න නම් “උනන්දුවා” සිය පිතිකරණ දස්කම්, පන්දු යැවීමේ දස්කම්, පන්දු රැකීමේ දස්කම් සහ කණ්ඩායම උත්තේජනය කිරීමේ දස්කම් යන සිව්වැදෑරුම් දස්කම් ප්‍රේක්ෂක එළිපත්තට ගෙන ආවේය. ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් ආගමනයෙන් වැඩි කල් නොඉකුත් වී ම ඔහුගේ උනන්දුව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් විසින් අල්ලා ගන්නා ලදී.

ඇතැමුන් එයට “ඇඩ් දමනවා” යැයි කීව ද, චාමික විසින් ස්වර්ණමය යුගයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට තම මතක පොත දිගහැර ගැනීමට අවස්ථාව සැපයූයේය. පළමු තරගයේ දී හොඳින් පන්දු යැවූ ඔහුට ලැබුණේ පන්දුවාර 4ක් පමණක් වීම දැඩි ලෙස කතාබහට ලක්විය. ග්ලෙන් මැක්ස්වෙල් හට සාර්ථකව පන්දු යැවූ එකම පන්දු යවන්නා ඔහු ය. මැක්ස්වෙල් නොදැවී ලකුණු 80ක් ලබා තරගය ජයග්‍රාහීව අවසන් කළේය.

එහෙත් දෙවැනි තරගයේ දී ඔහු විසින් පන්දු යවා, තමන්ම දිවගොස් පන්දුව රැකගෙන කඩුලු රකින්නාට භාර දී දවා ගත් ඇලෙක්ස් කේරිගේ කඩුල්ල සහ ඔහු විසින් දවා ගත් ‘ශ්‍රී ලංකාවට හිසරදයක්ව සිටි ග්ලෙන් මැක්ස්වෙල්ගේ කඩුල්ල’ මතක පොතට නිතරගයෙන්ම ඇතුළත් විය. එවැනි ජවයක්, එවැනි කැපවීමක්, එවැනි උද්යෝගයක් ක්‍රිකට් පිටියට ගෙන ආ හැක්කේ උනන්දුවෙකුටම පමණි.

ලකුණු 220ක ඉලක්කයක් රැකගෙන ශ්‍රී ලංකාව ජය ගත් එදා ඔහු විසින් පන්දු 17ක දී ලකුණු 18ක් ලබාගෙන, පන්දුවාර 7ක දී ලකුණු 47කට කඩුලු 3ක් ද දවාගෙන, තරගයේ වීරයා සම්මානය ද තමන් සතුකර ගත්තේය.

සියල්ලට වඩා වැදගත් වූයේ තරගයේ තීරණාත්මක මොහොතක දී ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට රැගෙන ආ උද්යෝගයයි. එයින් නැගිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ ජයග්‍රහණය තෙක්ම ඕස්ට්‍රේලියානුවන්ගේ ගෙල අත් නොහළහ.

එමෙන්ම සිව්වැනි එක්දින තරගයේ දී දසුන් ශානක විසින් යැවූ අවසන් පන්දුවාරය තුළ දී යම් පීඩනයකට ලක්ව සිටි ශානකට චාමික විසින් ලබා දුන් ශක්තිය අපි දුටිමු. එවැනි මොහොතක එවැනි ජවයකින් පිටිය මත රැඳිය හැක්කේ උනන්දුවෙකුටම ය. “කෙක්කෙන් නම් කෙක්කෙන්, කොක්කෙන් නම් කොක්කෙන්” කියන්නා සේ චාමික සිය ජවසම්පන්න සිරුරම පිටිය මත නිදහස් කරනයුරු නැරඹීමට මනරම් ය.

ජවසම්පන්න උනන්දුවෙක්

පස්වැනි තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම යම් වෙනස්කම් කිහිපයක් සමඟින් පැමිණ පිතිකරණයෙන් යළි කඩා වැටුණේ ය. චාමික පිටියට පිවිසෙන්නේ ලකුණු 61කට කඩුලු 6ක් දැවුණු මොහොතේ දී ය. එහෙත් පහරවල් කිහිපයකින් විශ්වාසය ගොඩනගාගත් ඔහු අවසන් පිතිකරුවන් තිදෙනා සමඟින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 160 දක්වා ඉහළ නැංවූයේය. චාමික පන්දු 75ක දී ලකුණු 75යි.

චාමික වැනි උනන්දුවන්ගේ ආගමනය, වැටී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් යළි නගාසිටුවීමට ප්‍රබල සාධකයක් වනවාට කිසිදු සැකයක් නැත. ඔවුන් ශතක හෝ කඩුලු පහේ දස්කම් දක්වන්නන් නොවිය හැකිය. එහෙත් ඔවුන් විසින් ලබාගන්නා ලකුණු 25, 30 ඉනිම්, කඩුලු 2, 3 පන්දු යැවීම්, පන්දු රැකීමේ ජවය ජයග්‍රහණයේ තීරක බලවේගය වීමේ සම්භාවිතාවය ඉහළ ය.

ඔවුන්ගේ නාමයන් ක්‍රිකට් පුරාවෘත්ත මට්ටමෙහිලා නොගිණිය හැකි බැව් සැබෑවකි. එහෙත් “උනන්දුවාගේ කෝණය”, පුරාවෘත්ත වලටත් නොපෙනෙන කෝණයකි. මන්ද යත්, කුමන ප්‍රබලයෙකුට වුවත් හිස කඩාවැටෙන දිනයක් එළඹිය හැකි වුවද, “උනන්දුවා” ජයග්‍රහණයේ දී ද පරාජයේ දී ද නොසැලෙන සටන්කාමියෙකු වන බැවිනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<