ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පසුගියදා අවසන් වෙන්නේ Tamil Union C & AC කණ්ඩායමට ශූරතාව හිමි වෙමිනුයි. එහි අනුශූරතාව හිමි වූයේ SSC කණ්ඩායමටයි.
මෙරට ප්‍රමුඛතම ක්‍රිකට් කණ්ඩායම් 14ක්, කාණ්ඩ ද්විත්වයකින් තරග බිමට පිවිස, තරග 49කින් නිමා කළ මෙම තරගාවලියේ දී ශතක 8ක් සහ අර්ධ ශතක 52ක් සමඟින් ලකුණු 13692ක් වාර්තා වූ අතර දැවී ගිය සම්පූර්ණ කඩුලු සංඛ්‍යාව 648ක්.
>>Tamil Union අපරාජිතව T20 ශූරතාව දිනා ගනී<<
තරගාවලියේ වාර්තා වූ සුවිශේෂී කඩඉම්
232/2 : NCC කණ්ඩායම විසින් තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කළා. එහි ප්‍රතිවාදීන් වූයේ Baduraliya SC කණ්ඩායමයි.
56/10 : තරගාවලියේ අඩු ම ලකුණු සංඛ්‍යාවකට දැවී යන්නේ Colts CC කණ්ඩායමයි. එම තරගයේ ප්‍රතිවාදීන් වූයේ Ace Capital CC කණ්ඩායමයි.
438 : තරගාවලියේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව SSC සහ Police SC කණ්ඩායම් විසින් වාර්තා කළා.
103 runs : තරගාවලියේ වැඩිම ලකුණු ප්‍රමාණයකින් ජයග්‍රහණය කළ කණ්ඩායම වූයේ CCC කණ්ඩායමයි. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ Police SC කණ්ඩායමට එරෙහිවයි.
අවසන් මහා තරගයේ වීරයා – සිනෙත් ජයවර්ධන (Tamil Union C & AC)
තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා බවට පත් වෙන්නේ Tamil Union C & AC කණඩායමේ 21 වැනි වියේ පසුවෙන වමත් ආරම්භක පිතිකරු සිනෙත් ජයවර්ධන.
ඔහු මෙම තරගයේ දී පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 82ක් ලබා ගත්තා. එහි දී ඔහු තම අර්ධ ශතකය පන්දු 18ක දී ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා.
ඊට අමතර ඔහු නවෝද් පරණවිතාන හා එක් ව 2 වැනි කඩුල්ලට එක් ව පන්දු 56ක දී ලකුණු 133ක සබඳතාවක් ගොඩ නගමින් තරගයේ තීරණාත්මක හවුල්කරුවා බවට පත් වීමට ද සමත් වුණා. ඔවුන් දෙදෙනා එම සබඳතාව ගොඩ නගන්නේ පළමු කඩුල්ල ලකුණු නොලබා දැවී ගිය අවස්ථාවකයි.
සිනෙත් ජයවර්ධන මෙවර තරගාවලිය අවසන් කරන්නේ තරගාවලියේ වැඩි ම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට ද පත් වෙමිනුයි. ඔහු තරගාවලිය අවසන් වෙද්දී තරග 9ක දී ශකයක් සහ අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 372ක් ලබා සිටියා.
ඔහුගේ එම ලකුණු අතර Panadura SC කණ්ඩායමට එරෙහි ව ලබා ගත් ලකුණු 101ක් සහ අවසන් මහා තරගයේ ලබා ගත් අර්ධ ශතකයට අමතර ව Police SC කණ්ඩායමට එරෙහි ව ලබා ගත් ලකුණු 84ක් ද තිබෙනවා.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම ද නියෝජනය කර ඇති සිනෙත් ජයවර්ධන මේ දක්වා පළමු පෙළ තරග 12ක ඉනිම් 21ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 363ක් ද, පළමු පෙළ එක්දින තරග 21ක දී ශතක ද්විත්වයක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 776ක් ද සහ විස්සයි විස්ස තරග 25ක දී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 686ක් ද ලබා ඇති ක්‍රීඩකයෙක්.
තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා – නවෝද් පරණවිතාන (Tamil Union C & AC)
මෙවර තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයා බවට පත් වෙන්නේ Tamil Union C & AC කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ නවෝද් පරණවිතාන.
ඔහු මෙවර තරගාවලියේ දී පිතිකරු භූමිකාවේ දී තරග 9ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 276ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී කඩුලු 11ක් දවා ගන්නවා.
වමත් පිතිකරුවෙක් වූ නවෝද් පරණවිතාන තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර 5 වැනි අසුන මෙන් ම වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් අතර ද 5 වැනි අසුන හිමි කර ගන්නවා.
නවෝද පරණවිතානගේ පිතිකරු ඉනිම් අතර වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ CCC කණ්ඩායමට එරෙහි ව ලබා ගත් ලකුණු 63යි. ඊට අමතර ව ඔහු අවසන් මහා තරගයේ දී SSC කණ්ඩායමට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 58ක් ද සහ Kurunegala Youth CC කණ්ඩායමට එරෙහි ව ලබා ගත් ලකුණු 51ක් ද තිබෙනවා.
වමතින් මඳ වේග පන්දු යැවූ ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ Panadura SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 41කට දවා ගත් කඩුලු 4යි.
වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කර ඇති 24 වැනි වියේ පසුවෙන නවොද් පරණවිතාන මේ දක්වා පළමු පෙළ තරග 55ක දී ශතක 4ක් සහ අර්ධ ශතක 14ක් සමඟින් ලකුණු 2967ක් සහ කඩුලු 42ක් ද, පළමු පෙළ එක්දින තරග 46ක දී අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 934ක් සහ කඩුලු 32ක් ද සහ විස්සයි විස්ස තරග 24ක දී අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 483ක් ද සහ කඩුලු 13ක් ද දවා ගෙන ඇති ක්‍රීඩකයෙක්.
තරගාවලියේ දක්ෂතම පිතිකරු – සොහාන් ද ලිවේරා (Moors SC)
මෙවර තරගාවලියේ දක්ෂතම පිතිකරු බවට පත් වෙන්නේ Moors SC කණ්ඩායම නියෝජනය කළ කඩුලු රැකීමේ අත් ආවරණ ද හිමි සොහාන් ද ලිවේරා.
වමත් ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් කටයුතු කළ ඔහු මෙවර තරගාවලිය නිමා කරන්නේ තරග 7ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 307ක් ලබා ගනිමිනුයි. එහි සාමාන්‍ය 43.85ක් ලෙසින් ද පවත්වාගෙන යෑමට සමත් වූ ඔහු මෙම තරගාවලිය තුළ දී Nugegoda S & WC කණ්ඩායමට එරෙහි ව ලකුණු 64ක්, NCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 64ක් සහ Police SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 58ක් ද ලබා ගත්තා.
තරගාවලියේ දී හතරේ පහර 39ක් ලබා ගනිමින් වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා ද වූ සොහාන් ද ලිවේරා, කඩුල්ල පිටුපස සිටිමින් දවා ගැනිම් 7කට ද දායකත්වය දක්වා තිබෙනවා.
ශ්‍රී ලංකා A සහ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම් ද නියෝජනය කළ, තවමත් 26 වැනි වියේ පසුවෙන සොහාන් ද ලිවේරා පළමු පෙළ තරග 57ක ඉනිම් 87ක දී ශතක 8ක් සහ අර්ධ ශතක 15ක් සමඟින් ලකුණු 3358ක් ද, පළමු පෙළ එක්දින තරග 63ක ඉනිම් 60ක දී ශතකයක් සහ අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 1314ක් ද සහ විස්සයි විස්ස තරග 31ක ඉනිම් 29ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 807ක් ද ලබා සිටින ක්‍රීඩකයෙක්.
372 : තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූයේ Tamil Union කණඩායමේ සිනෙත් ජයවර්ධන.
| තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා | ||||||||||
| Player | Team | M | In | NO | Runs | HS | Ave | 100 | 50 | |
| 1 | සිනෙත් ජයවර්ධන | Tamil Union | 9 | 9 | 1 | 372 | 101 | 46.50 | 1 | 2 |
| 2 | සොහාන් ද ලිවේරා | Moors SC | 7 | 7 | 0 | 307 | 64 | 43.85 | 0 | 3 |
| 3 | නිශාන් මදුශ්ක | CCC | 5 | 5 | 3 | 296 | 114* | 148.0 | 2 | 1 |
| 4 | අවිශ්ක ප්‍රනාන්දු | SSC | 7 | 7 | 0 | 286 | 73 | 40.85 | 0 | 3 |
| 5 | නවෝද් පරණවිතාන | Tamil Union | 9 | 9 | 2 | 276 | 63 | 39.42 | 0 | 3 |
145* : තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණුලාභියා බවට පත් වූයේ NCC කණ්ඩායමේ කමිල් මිෂාර. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ Bloomfield C & AC කණ්ඩායමට එරෙහිවයි.
2x100s : තරගාවලියේ වැඩිම ශතකලාභියා බවට පත් වුයේ CCC කණ්ඩායමේ නිශාන් මදුශ්ක. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ Ace Capital CC (114*) කණ්ඩායමට සහ Tamil Union C & AC (109*) කණ්ඩායමට එරෙහිවයි.
3 x50s+ : තරගාවලියේ ලකුණු 50කට වැඩි ඉනිම් වැඩිපුර ම වාර්තා කළ පිතිකරුවන් 5 දෙනෙක් ලැයිස්තු ගත වෙනවා. ඒ CCC කණ්ඩායමේ නිශාන් මදුශ්ක, Moors SC කණ්ඩායමේ සොහාන් ද ලිවේරා, SSC කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු, Tamil Union C & AC කණ්ඩායමේ නවෝද් පරණවිතාන සහ Tamil Union C & AC කණ්ඩායමේ සිනෙත් ජයවර්ධන.
19x6s : තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වූයේ Tamil Union C & AC කණ්ඩායමේ සිනෙත් ජයවර්ධන.
39x4s : තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වූයේ Moors SC කණ්ඩායමේ සොහාන් ද ලිවේරා.
152* : තරගාවලියේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සබඳතාව එක් කරන්නේ NCC කණ්ඩායමේ කවින් බණ්ඩාර සහ සහන් ආරච්චිගේ එක් ව Baduraliya SC කණ්ඩායමට එරෙහි ව 3 වැනි කඩුල්ලට එක් කළ මෙම ලකුණු සංඛ්‍යාවයි.
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – විජයකාන්ත් වියස්කාන්ත් (Tamil Union C & AC)
තරගාවලියේ හොඳම පන්දු යවන්නා බවට පත් වූයේ Tamil Union C & AC කණ්ඩායම නියෝජනය කරමින් පා දඟ පන්දු යැවූ විජයකාන්ත් වියස්කාන්ත්.
ඔහු මෙවර තරගාවලිය නිමා කරද්දී තරග 9ක දී කඩුලු 17ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට ද පත් වූවා. ඔහුගේ මෙම පන්දු යැවීම් අතර Police SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 11කට දවා ගත් කඩුලු 4ක් සහ Panadura SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 33කට දවා ගත් කඩුලු 4ක් ද තිබෙනවා.
ශ්‍රී ලංකා විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් ද දිනා සිටින 24 වැනි වියේ පසුවෙන විජයකාන්ත් වියස්කාන්ත් මේ දක්වා පළමු පෙළ තරග 19කට සහභාගී වෙමින් කඩුලු 58ක් ද, පළමු පෙළ එක්දින කඩුලු 51ක් ද සහ විස්සයි විස්ස කඩුලු 88ක් ද ලබා සිටින ක්‍රීඩකයෙක්.
17 : තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වූයේ Tamil Union C & AC කණ්ඩායමේ විජයකාන්ත් වියස්කාන්ත්.
| තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් | ||||||||||
| Player | Team | M | Over | Md | Runs | Wkts | Best | Ave | 4 | |
| 1 | විජයකාන්ත් වියස්කාන්ත් | Tamil Union | 9 | 36.0 | 0 | 222 | 17 | 4/11 | 13.05 | 2 |
| 2 | චාමික ගුණසේකර | NCC | 8 | 27.0 | 0 | 188 | 15 | 4/17 | 12.53 | 2 |
| 3 | ට්‍රවීන් මැතිව් | Ace Capital | 7 | 25.4 | 0 | 185 | 14 | 3/09 | 13.21 | 0 |
| 4 | රචින්ත ද සිල්වා | Ace Capital | 7 | 24.0 | 1 | 134 | 12 | 4/10 | 11.16 | 1 |
| ලහිරු සමරකෝන් | Tamil Union | 9 | 33.0 | 0 | 277 | 12 | 4/23 | 23.08 | 1 | |
| 5 | නවොද් පරණවිතාන | Tamil Union | 9 | 26.3 | 0 | 220 | 11 | 4/41 | 20.00 | 1 |
5/19 : තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ Police SC කණ්ඩායමේ වමතින් දඟ පන්දු යැවූ හේෂාන් මදුශංක. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ BRC කණ්ඩායමට එරෙහිවයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<


























