නායිකාව නිසා ඉන්දියාවට අමතර හිසරදයක්

4269

බංග්ලාදේශය සමඟ පැවති තරගාවලියේ අවසන් තරගයේ දී සිදු කළ විනය විරෝධි හැසිරීම් නිසා ඉන්දීය කාන්තා කණ්ඩායමේ නායිකා Harmanpreet Kaur හට ආසියානු කුසලානයේ වැදගත් තරග කිහිපයක් අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. 

ඇය තරගය තුළ මෙන්ම තරගයෙන් පසුව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම කිහිපයක් කඩ කළ අතර එහි දී ඇයගේ ආවේගශීලී හැසිරීම නිසා ඇයට දඬුවම් කිරීමට ද කටයුතු කර තිබුණා.  

තරගය තුළ විනිසුරුවරයා ලබා දුන් තීරණයකට විරෝධය දක්වමින් ඇය කඩුලු වලට පිත්තෙන් පහරක් එල්ල කළ අතර තරගයෙන් පසුව ද ඇය විනිසුරුවන්ට වාග් ප්‍රහාර එල්ල කරනු දක්නට ලැබුණා. 

මෙම සිදුවීම නිසා ඇයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අනුව දඬුවම් ලකුණු 4ක් හිමි වීමට වැඩි ඉඩක් කඩක් තිබෙන අතර මාස 24ක් තුළ මෙලෙස දඬුවම් ලකුණු 4ක් හෝ වැඩි ගණනක් හිමි වුවහොත් ටෙස්ට් තරගයක්, එක්දින තරග දෙකක් හෝ විස්සයි තරග දෙකක තහනමක් එම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට හිමි වෙනවා.  

ඉන්දීය කාන්තා කණ්ඩායම සහභාගී වන මීළඟ තරග ආසියානු ක්‍රීඩා උළෙලේ දී පැවැත්වෙන නිසා ඉන්දීය ක්‍රිකට් නායිකාවට තරගාවලියේ අර්ධ අවසන් සහ අවසන් පූර්ව තරග අහිමි වීමට වැඩි ඉඩක් පවතිනවා.  

යම් හෙයකින් තහනම හිමි වුවහොත් ඇයට ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙන්නේ අවසන් මහා තරගයක් පමණක් වන නිසා මූලික තරග ක්‍රීඩා කිරීමට කණ්ඩායම තේරීමේ දී ඉන්දීය බලධාරීන් දැඩි අර්බුදයකට මුහුණ දෙනවා. 

කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙය පිළිබඳ නිල ප්‍රකාශයක් කර නොමැති අතර මෙය Harmanpreet Kaur ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දඬුවම් ලකුණු ලබා ගත් දෙවැනි අවස්ථාව වෙනවා. එයට පෙර 2017 වසරේ දී ඇයට මෙලෙස දඬුවම් ලකුණු හිමිව තිබුණා.  

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.  

Hindustan Times ඇසුරිනි.  

>>තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<