Dambulla සහ Colombo අවසන් මහා තරගයට

SLC Women's National Super League 2024

107
SLC Women's National Super League 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Women’s National Super League සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා Dambulla Women සහ Colombo Women කණ්ඩායම් අද (10) සුදුසුකම් ලබා ගත්තා.

අද පැවැති තරග ද්විත්වයත් සමඟින් තරගාවලියේ පළමු වටයේ තරග අවසන් වූ අතර ඒ අනුව සැකසුන ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන 2 දිනා ගත් කණ්ඩායම් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

සෑම කණ්ඩායමක් ම තරග 3ක් බැගින් ක්‍රීඩා කර ඇති අතර ඒ අතුරින් තරග 2ක් බැගින් ජයගත් Dambulla Women සහ Colombo Women කණ්ඩායම් පළමු ස්ථාන 2 අතරට පිවිසෙමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

එම තරගය මේ මස 12 වැනිදා කොළඹ Colts පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

අද පැවැති තරග අතුරින් Dambulla Women කණ්ඩායම වෙනුවෙන් සත්‍යා සංදීපනී සහ මල්ෂා ෂෙහානි, Colombo Women කණ්ඩායම වෙනුවෙන් නෙත්මි පූර්ණා, Galle Women  කණ්ඩායම වෙනුවෙන් ඔෂදි රණසිංහ ද අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී Colombo Women කණ්ඩායමේ සචිනි නිසංසලා සහ Galle Women  කණ්ඩායමේ කාව්‍යා කාවින්දි කඩුලු 4 බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

Dambulla Women සහ Colombo Women

o ක්‍රීඩාංගණය – P. Sara Oval, කොළඹ

o කාසියේ වාසිය – Colombo Women

කාසියේ වාසිය දිනූ කොළඹ ක්‍රීඩිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Dambulla Women කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 214ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී Colombo Women කණ්ඩායම ඔවුන්ගේ ඉනිම නිමා විමට තවත් පන්දු 17ක් සහ කඩුලු 6ක් ඉතිරි ව තිබිය දී අදාළ ඉලක්කය අභිබවා ගියා.

Dambulla Women කණ්ඩායමේ ඉනිම වෙනුවෙන් අර්ධ ශතක 2ක් එක් වීම කැපී පෙණුනා. එහි දී සත්‍යා සංදීපනී පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත් අතර එය එම ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වූවා.

ඊට අමතර ව මල්ෂා ෂෙහානි පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා ගත්තා. ඇය 9 වැනි කඩුල්ලට පමෝධා ශයිනි එක් ව පන්දු 41ක දී ලකුණු 38ක සබඳතාවක් එක් කිරීමට සමත් වූ අතර එය මෙම ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද වූවා.

කඩුලු දවා ගැනීමේ දී සචිනි නිසංසලා ලකුණු 21කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ජනාදි අනාලි කඩුලු 2ක් සහ ඉනෝෂි ප්‍රනාන්දු සහ ශෂිනි ගිම්හානි කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි Colombo Women කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළ නෙත්මි පූර්ණා සහ ප්‍රසාදනි වීරක්කොඩි පළමු කඩුල්ලට ලකුණු 83ක සබඳතාවක් එක් කළා.

ප්‍රසාදනී වීරක්කොඩි පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා.

හඹා යන ඉනිමේ කඩුලු 4ක් ලකුණු 155කට දැවී තිබූ අවස්ථාවේ දී පිටියට පිවිසි රෝෂිණි පෙරේරා  හා එක් වූ නෙත්මි පූර්ණා තරගය ජයග්‍රහණ කරා රැගෙන ගියේ 5 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 60ක් එක් කරමිනුයි.

තරගය අවසන් වන විට නෙත්මි පූර්ණා පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 87ක් ලබා සිටියා. අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් රෝෂිණි පෙරේරා පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී නිමේෂා මධුශානි ලකුණු 32කට කඩුලු 2ක් ලබා ගත් අතර චමරි ලක්ශානි සහ මනුදි නානායක්කාර කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Dambulla Women– කඩුලු 9ක් දැවී 214 (50.0)සත්‍යා සංදීපනී 63, මල්ෂා ෂෙහානි නොදැවී 53, සචිනි නිසංසලා 4/41, ජනාදි අනාදි 2/35
  • Colombo Women –කඩුලු 4ක් දැවී 215 (47.1)නෙත්මි පූර්ණා නොදැවී 87, ප්‍රසාදනී වීරක්කොඩි 44, රෝෂිණි පෙරේරා නොදැවී 32, නිමේෂා මධුශානි 2/32

Colombo Women කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

Kandy Women සහ Galle Women

o BRC, හැව්ලොක් ටවුන්

o Kandy Women

කාසියේ වාසිය දිනූ Kandy Women පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 189ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි Galle Women   කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 190ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය ලබා ගත්තා.

Kandy Women කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා කවීෂා දිල්හාරි. ඇය පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තා. ඊට අමතර ව ආරම්භක පිතිකාරිනී ඉමේෂා දුලානි පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී කාව්‍යා කාවින්දි ලකුණු 44කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව සුරංගිකා පෙරේරා සහ චේතනා විමුක්ති කඩුලු 2 බැගින් ලබා ගනිද්දී ඔෂදී රණසිංහට ද කඩුල්ලක් හිමි වූවා.

පිළිතුරු ඉනිමේ ගැලවුම්කාරිය වූයේ නායිකා, ඔෂදී රණසිංහ. ඇය පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා. ඊට අමතර ව නිලක්ෂනා සඳමිනි පන්දු 73ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.

ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරුව Galle Women කණ්ඩායමේ පසු පෙළින් පිටියට පිවිසි සුරංගිකා පෙරේරා වෙත වැඩි වගකීමක් පැවරෙනවා. ඒ අනෙක් පිතිකාරිනියන් ප්‍රතිවාදීන් ඉදිරියේ අසරණ වෙද්දීයි.

ඔවුන්ගේ කඩුලු 3ක් ලකුණු 18ක් තුළ දවා ගනිමින් ප්‍රතිවාදීන් තරගයට අවතීර්ණ වූව ද එක් අන්තයක් ආරක්ෂා කර ගත් සුරංගිකා පෙරේරා තරගයේ ජයග්‍රහණය Galle Women  කණ්ඩායම සතු කළා. ඒ වෙද්දී ඇය පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 36කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර සවින්දි කුරේ, ඉනෝකා රණවීර සහ විහාරා සෙව්වන්දි කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Kandy Women– සියලුම දෙනා දැවී 189 (49.2)ඉමේෂා දුලානි 34, කවීෂා දිල්හාරි 49, අමා කාංචනා 18, රශ්මි සිල්වා 26, කාව්‍යා කාවින්දි 4/44, චේතනා විමුක්ති 2/23, සුරංගිකා පෙරේරා 2/16
  • Galle Women  – කඩුලු 9ක් දැවී 190 (46.5) දෙව්මි විජේරත්න 18, නිලක්ෂනා සඳමිණි 33, නිලක්ෂි ද සිල්වා 27, ඔෂදි රණසිංහ 58, සුරංගිකා පෙරේරා නොදැවී 20, විහාරා සෙව්වන්දි 2/33, සවින්දි කුරේ 2/19, ඉනෝකා රණවීර 2/31, කවීෂා දිල්හාරි 3/36

Galle Women කණ්ඩායමට කඩුල්ලක ජයක්.

මෙම තරගාවලියේ මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<