මතක සැමරුම් රැසක් එක් කළ පැතුම්ගේ 50

Afghanistan Tour of Sri Lanka 2024

205
Pathum Nissanka

තම 50 වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ පැතුම් නිස්සංක එම තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කරමින් මෙරට ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත් වෙද්දී තවත් වාර්තා රාශියක් ද ඒ හා සමඟ මෙරට මෙන් ම ලෝක ක්‍රිකට් සැමරුම් අතරට එක් වූවා.  

210*: පැතුම් නිස්සංක විසින් ක්‍රියාත්මක කළ මෙම ඉනිම ශ්‍රී ලංකා එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර මෙම වාර්තාවේ හිමිකාරීත්වය රැදී තිබුණේ සනත් ජයසූරිය සතුවයි. Pathum Nissanka

  • පැතුම් ගේ මෙම ද්විත්ව ශතක ඉනිම මෙරට ක්‍රීඩාංගණයක, මෙරට ක්‍රීඩකයෙක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වූවා. 

මීට පෙර මෙම වාර්තාව හිමිකර ගෙන සිටියේ 2013 වසරේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 169ක් ලබා ගත් කුමාර් සංගක්කාරයි.  

  • ඇෆ්ගනිස්තානයට එරෙහිව ක්‍රීඩකයෙක් විසින් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වන්නේ ද පැතුම් නිස්සංකගේ මෙම ඉනිමයි. ඊට පෙර ඔවුන්ට එරෙහිව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වී තිබුණේ 2023 වසරේ දී ඔස්ට්‍රේලියාවේ Glenn Maxwell නොදැවී ලබා සිටි ලකුණු 201යි.

1: පැතුම් ගේ මෙම ඉනිම ඔහුගේ තරග 50ක් වන එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙද්දී  ඔහුගේ ඉනිම් අතර එම ස්ථානය හිමි ව තිබුණේ 2022 වසරේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 147ක දී හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා සිටි ලකුණු 137යි.  

  • එමෙන් ම පැතැම් විසින් වාර්තා කරන ලද මෙම ද්විත්ව ශතකය List A පිටියේ ශ්‍රී ලංකා පිතිකරුවෙක් වාර්තා කරන ලද පළමු ද්විත්ව ශතකයයි.

නමුත් මෙම ලැයිස්තුවේ මීට පෙර මෙරට නියෝජනය කළ පිතිකාරිනියන් සිව්දෙනෙක් ද්විත්ව ශතක වාර්තා කර තිබුණා. 

Colts කණ්ඩායම නියෝජනය කළ සඳමාලි දොළවත්ත 2007 වසරේ දී Pushpadana Ladies ක්‍රිකට් කණ්ඩායමට එරෙහි නොදැවී ලකුණු 231ක්, Kandyan Ladies කණ්ඩායම නියෝජනය කළ ශ්‍රීපාලී වීරක්කොඩි 2007 වසරේ දී Pushpadana Ladies කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 271ක්, Marians Ladies කණ්ඩායම නියෝජනය කළ සුවිනි ද අල්විස් 2010 වසරේ දී Kurunegala Youth කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 236ක් සහ Sri Lanka Air Force කණ්ඩායම නියෝජනය කළ චමරි අතපත්තු 2013 වසරේ දී Palink කණ්ඩායමටත් එරෙහිව නොදැවී ලකුණු 201ක් ලෙසත් ය. 

5: පැතුම්ගේ මෙම ඉනිම ලෝක එක්දින තරග ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර 5 වැනි සම තැනට පත් ඉනිම බවට පත් වූවා.  

එහි පළමු ස්ථානය ඉන්දියාවේ Rohit Sharma (264 – ශ්‍රී ලංකාවට 2014 දී) සතු වූ අතර දෙවැනි ස්ථානය නවසීලන්තයේ Martin Guptill (237*- බටහිර ඉන්දීය කොදෙව්වන්ට 2015 දී), තෙවැනි ස්ථානය ඉන්දියාවේ Virender Sehwag (219 – බටහිර ඉන්දීය කොදෙව්වන්ට 2011 දී), සිව්වැනි ස්ථානය බටහිර ඉන්දීය කොදෙව් දේශයේ Chris Gayle (215 – සිම්බාබ්වේට 2015 දී) සහ 5 වැනි සම ස්ථානය පාකිස්තානයේ Fakhar Zaman (210* – පාකිස්තානයට 2018 දී) සතුකර ගෙන තිබුණා.  

12: පැතුම්ගේ එම ඉනිම ලෝක එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ 12 වැනි ද්විත්ව ශතකයයි.   

128: පැතුම් නිමා කළ ඉනිමේ දී හතරේ පහර 20ක් සහ හයේ පහර 8ක් එල්ල කරන ලද අතර එහි එකතුව ලකුණු 128ක්. එය ඒ ආකාරයෙන් ලකුණු රැස් කිරීමේ මෙරට වාර්තා අතර පළමු තැනට පත් දක්ෂතාවය ද වූවා. 

එහි ඊට පෙර ලකුණු 110ක් බැගින් රැස් කරගෙන සිටි සනත් ජයසූරිය සහ තිසර පෙරේරා රැදී සිටියා. ජයසූරිය 1996 දී පාකිස්තානයට එරෙහිව හතරේ පහර 11ක් සහ හයේ පහර 11ක් එල්ල කරමින් ද සහ තිසර 2019 වසරේ දී නවසීලන්තයට එරෙහිව හතරේ පහර 8ක් සහ හයේ පහර 13ක් ද එල්ල කරමින් ද එම ලකුණු ප්‍රමාණය ලබා ගත්තා.  

136: පැතුම් තම ද්විත්ව ශතකය වාර්තා කිරීම සඳහා යොදා ගන්නේ පන්දු 136ක් පමණක් වන අතර එය ලෝක එක්දින තරග ඉතිහාසයේ වේගවත් ම ඉනිම් අතර තෙවැනි තැනට පත් දක්ෂතාවයි. 

මෙහි පැතුම් ගේ ඉනිමට වඩා ඉදිරියෙන් තිබෙන්නේ ඉන්දියාවේ Ishan Kishan, බංග්ලාදේශයට එරෙහිව 2022 වසරේ දී පන්දු 126කින් වාර්තා කරන ලද ද්විත්ව ශතකය සහ ඔස්ට්‍රේලියාවේ Glenn Maxwell, ඇෆ්ගනිස්තානයට එරෙහිව 2023 වසරේ දී පන්දු 128කින් වාර්තා කරන ලද ද්විත්ව ශතකයයි.  

3: ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව ලාබාලතම ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානය පැතුම්ට හිමි වුනා. ‍ 

එහි පළමු අසුන හිමි ව තිබෙන්නේ ඉන්දියාවේ Shubman Gill වෙතයි. 2023 වසරේ දී නවසීලන්තයට එරෙහිව ලකුණු 208ක් ලබා ගනිද්දී ඔහුගේ වයස අවුරුදු 23යි දින 132ක්. එහි දෙවැනි අසුන ද ඉන්දියාව සතු වෙනවා. Ishan Kishan වයස අවුරුදු 24යි දින 145ක් වන දිනයේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 210ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුව හා එක් වුනා.  

පැතුම් ගේ මෙම ද්විත්ව ශතක ඉනිම වාර්තා පොත් අතරට එක් වෙද්දී ඔහුට වයස අවුරුදු 25යි දින 267ක්.  

381/3 (50.0): ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඇෆ්ගනිස්තානයට එරෙහි ව වාර්තා කරන ලද මෙම ඉනිම මෙරට පැවැති එක්දින තරගවල දී වාර්තා වූ ඉහළ ම ඉනිම් අතර තෙවැනි ස්ථානයට පත් ඉනිමයි.  

එහි පළමු අසුන හිමි වෙන්නේ 1996 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව, කෙන්යාවට එරෙහි ව අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී කඩුලු 5ක් දැවී ලබා ගන්නා ලද ලකුණු 398ටයි. දෙවැනි අසුන 2010 වසරේ දී පාකිස්තානය විසින් බංග්ලාදේශයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී කඩුලු 7ක් දැවී ලබා ගන්නා ලද ලකුණු 385ට හිමි වෙනවා.  

339/6 (50.0): ඇෆ්ගනිස්තානය විසින් මෙම තරගයේ දී වාර්තා කරන්නේ තම එක්දින ජාත්‍යන්ර තරග ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු ප්‍රමාණයයි.  

ඊට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ 2017 වසරේ දී අයර්ලන්තයට එරෙහිව Greater Noida ක්‍රීඩාංගණයේ දී සියලුම දෙනා දැවී ලබා ගන්නා ලද ලකුණු 338ටයි.  

720: ශ්‍රී ලංකාවේ පැවැති තරග අතුරින් කණ්ඩායම් 2ක් එක් ව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද මෙම තරගයත් සමඟින් අලුත් වුනා.  

එතෙක් මෙම වාර්තාවේ රැදී තිබුණේ 1996 වසරේ දී අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව සහ කෙන්යාව එක් ව ලබා ගන්නා ලද ලකුණු 652යි.  

242: ඇෆ්ගනිස්තානයේ Azmatullah Omarzai සහ Mohammad Nabi එක් ව 6 වැනි කඩුල්ලට වාර්තා කරන ලද ලකුණු 242ක සබඳතාව පරාජිත කණ්ඩායමක කඩුල්ලක් සඳහා එක් වූ ඉහළ ම ලකුණු සබඳතාව ලෙසින් ඉතිහාසයට එක් වූවා.  

ඊට පෙර එම වාර්තාව සතුව වූයේ 2000 වසරේ දී දකුණු අප්‍රිකාවේ Herschelle Gibbs සහ Gary Kirsten එක් ව ඉන්දියාවට එරෙහි ව Kochi හි දී පළමු කඩුල්ලට ලබා සිටි ලකුණු 235යි.  

එමෙන් ම ඇෆ්ගනිස්තානුවන්ගේ එම ඉනිම ලෝක එක්දින තරග ඉතිහාසයේ මෙන් ම ඇෆ්ගනිස්තාන එක්දින තරග ඉතිහාසයේ ද එම කඩුල්ලට වාර්තා වූ ඉහළ ම සබඳතා අතර දෙවැනි ස්ථානයට පත් දක්ෂතාව බවට පත් වුනා.  

ලෝක ඉතිහාසයේ එහි පළමු ස්ථානය 2015 වසරේ දී නවසීලන්තයේ Grant Elliott සහ Luke Ronchi ශ්‍රී ලංකාවට එරෙහිව Dunedin ක්‍රීඩාංගණයේ දී නොදැවී ලබා ගන්නා ලද ලකුණු 267ට හිමි යි. 

ඇෆ්ගනිස්තාන ඉතිහාසයේ එහි පළමු ස්ථානය 2023 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව Chattogram හි දී Ibrahim Zadran සහ Rahmanullah Gurbaz එක් ව පළමු කඩුල්ලට ලබා ගන්නා ලද ලකුණු 256ට හිමි වෙනවා.  

284: ලෝක එක්දින තරග ඉතිහාසයේ කඩුලු 5ක් දැවී ගිය පසුව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගැනීමට ඇෆ්ගනිස්තානය මෙම තරගයේ දී සමත් වූවා.  

ඔවුන් ගේ 5 වැනි කඩුල්ල දැවී යන විට ලකුණු පුවරුව දැක් වුණේ ලකුණු 55ක් ලෙසයි. අනතුරු ව කඩුල්ලක් පමණක් දැවී ලකුණු 284ක් රැස් කිරීමට ඔවුන් සමත් වුනා.  

මෙම වාර්තාවේ පෙර හිමිකාරයන් වූයේ නවසීලන්තයයි. ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව 2015 වසරේ දී Dunedin හි දී කඩුලු 5ක් දැවී ලකුණු 93ක් තිබූ පසුව 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 267ක් කරමින් එහි රැදී සිටියා. 

1000: අවිශ්ක ප්‍රනාන්දු මෙම තරගයේ දී තම එක්දින තරග ඉතිහාසයේ ලකුණු 1000ක් වාර්තා කිරීමට සමත් වූවා. ඔහු මේ වෙද්දී එක්දින තරග 33කට සහභාගී වෙමින් ශතක 3ක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 1082ක් ලබා සිටිනවා.  

149*: ඇෆ්ගනිස්තානයේ Azmatullah Omarzai මෙම තරගයේ දී ඔහුගේ එක්දින තරග ඉතිහාසයේ මංගල ශතකය වාර්තා කරන ලද අතර ඉනිම අවසන් වන විට නොදැවී ලබා ගන්නා ලද ලකුණු 149 ඔහුගේ තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා. 

136: ඇෆ්ගනිස්තානයේ Mohammad Nabi විසින් මෙම තරගයේ දී වාර්තා කරන්නේ තමන්ගේ එක්දින තරග 157ක හොඳම ඉනිමයි.  

4/75 (10.0): දකුණතින් මඳ වේග පන්දු යවන ප්‍රමෝද් මධුශාන් තම එක්දින ජාත්‍යන්තර තරග 4ක හොඳම පන්දු යැවීම මෙම තරගයේ දී වාර්තා කළා.  

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ද ඔබ වෙත සමීප කිරීමටThePapare.com සූදානම්, රැඳී සිටින්නThePapare.com සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<