“ප්‍රතික්ෂේප වීමෙන් පන්නරය ලැබුවා” – චමරි අතපත්තු

WPL 2024

116

WBBL සහ WPL විස්සයි විස්ස ලීග් තරගාවලිවලින් ප්‍රතික්ෂේප වීම තමන්ට යම් ආකාරයක පන්නරයක් ලබා දුන් බව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු විසින් සඳහන් කරනවා. 

ගෙවුණු 2023 වසරේ දී ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට චමරි අතපත්තු විසින් සමත් වූ අතර, ඇය විසින් ශ්‍රී ලංකා නායිකාව ලෙස එංගලන්තයට එරෙහිව එංගලන්තයේ දී ම විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණයක් කරා තම කණ්ඩායම මෙහෙයවීමට ද සමත් වුනා. 

කෙසේ වෙතත් ගෙවුණු වසරේ මැද බාගයේ දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු කාන්තා Big Bash ලීගය වෙනුවෙන් චමරිගේ නම පළමු තේරීමක් වුනේ නැහැ. නමුත් පසුව Adelaide Strikers කණ්ඩායම විසින් ඇයට අවස්ථාව ලබා දුන් අතර, එහි අවසන් ප්‍රතිඵලය වුනේ චමරි තරගාවලියේ දෙවැනි ඉහළම ලකුණු ලාභිනිය මෙන්ම, තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාව යන සම්මානයත් ජයග්‍රහණය කිරීමයි. 

නමුත් චමරිගේ මෙම දස්කම් පසුගිය දෙසැම්බර් මාසයේ දී පැවැත්වුණු WPL ක්‍රීඩිකා වෙන්දේසියේ දී එකඳු කණ්ඩායමක් වෙත පිවිසීමට තරම් හෝ ප්‍රමාණවත් වුනේ නැහැ. නමුත් පසුව UP Warriorz කණ්ඩායමේ Lauren Bell තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමඟ චමරිට WPL වරම් ද හිමි වුනා. 

මෙම තරගාවලි ද්විත්වයට ම තමන්ව තෝරා නොගැනීම නිසා තමා පුදුමයට පත් වූ බවයි චමරි සඳහන් කරන්නේ. 

“මම කම්පනයට පත් වුනේ නැහැ, ඔවුන් මාව තෝරා නොගත් නිසා මම පුදුම වුනා. නමුත් මේ දේවල් මගේ පාලනයෙන් තොරයි. මේ තීරණ ගන්නේ පුහුණුකරුවන්, කණ්ඩායම් කළමනාකරුවන් වගේ වෙනත් අය. මට පාලනය කරන්න පුළුවන් මගේ පිතිකරණය සහ පන්දු යැවීම විතරයි. මට අවශ්‍ය මට කරන්න පුළුවන් දේ කරන්නයි. 

ප්‍රතික්ෂේප කිරීම කියන්නෙත් එක්තරා විදිහක හොඳ උත්තේජනයක්. ඒක මට හොඳයි, මොකද සමහර වෙලාවට මට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මට කරන්න පුළුවන් දේ පෙන්වන්න පුළුවන්. කවුරු හරි කියනවා නම් එය කරන්න බැහැ කියලා, මුලින් ඒක කරලා පෙන්වන්න. ඒ තමයි මගේ දර්ශනය.” 

තමන්ට සිදු වූ සියලු නොසලකාහැරීම් තමන්ගේ ම දියුණුව වෙනුවෙන් හේතු වූ බවයි චමරි විශ්වාස කරන්නේ. 

කෙසේ වෙතත් මෙම මාසයේ ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත 2024 WPL තරගාවලියේ දී චමරිට UP Warriorz කණ්ඩායම නියෝජනය කිරීමට නම් Alyssa Healy, Danni Wyatt, Tahlia McGrath, Grace Harris සහ Sophie Ecclestone වැනි ක්‍රීඩිකාවන් සමඟ දැඩි තරගයක නියැලීමට සිදු වනවා. 

“මම දන්නවා Alyssa Healy ආරම්භක පිතිකාරිණියක්, මගේ ප්‍රියතම Danni Wyatt කියන්නෙත් ආරම්භක පිතිකාරිණියක්. Tahlia McGrathට පවා ඉනිම ආරම්භ කරන්න පුළුවන්. Grace Harris Brisbane Heat වෙනුවෙන් ඉනිම ආරම්භ කළා. අපිට හැඩ ගැහෙන්න සිදු වෙනවා. කණ්ඩායමේ අවශ්‍යතාව තමයි වැදගත් වෙන්නේ. කණ්ඩායමට සහ පුහුණුකරුවන්ට අවශ්‍ය නම් පිතිකරණ අනුපිළිවෙළේ 1-6 දක්වා ඕනෑම තැනක පිතිකරණයේ යෙදෙන්න මම සතුටුයි.” 

සිය ක්‍රිකට් ජීවිතයේ බොහෝ අවස්ථාවල දී ආරම්භක පිතිකාරිණියක් ලෙස ක්‍රීඩා කළ චමරි කණ්ඩායමේ අවශ්‍යතාව මත එහි යම් වෙනසක් සිදු කිරීමට ද සූදානමින් පසු වනවා. 

ඊයේ (06) දිනයේ පැවැත්වුණු මාධ්‍ය හමුවක් අතරතුර ඇය විසින් මෙම කරුණු සඳහන් කල අතර, එහි දී ඇය විසින් විශේෂයෙන්ම අවධාරණය කළ කරුණක් වූයේ ශ්‍රී ලංකාවේ ද කාන්තා ක්‍රිකට් සඳහා මෙවැනි විස්සයි විස්ස ලීගයක් සංවිධානය කරන්නේ නම් එය අතිශය වැදගත් බවයි. 

” ලෝකේ වටේ ම ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයින්ට මේ ලීග් තරගාවලි වැදගත්. සමහර මිනිස්සු හිතනවා මේ ලීග් තරගාවලි මුදල් වෙනුවෙන් කියලා. ඒකෙ එහෙම නෙවෙයි, අපිට පුළුවන් අපේ දැනුම සහ සංස්කෘතිය අනෙක් ක්‍රීඩකයින් සමඟ බෙදා ගන්න. මට පුළුවන් ලෝකයේ හොඳ ක්‍රිකට් ක්‍රීඩිකාවන් සමඟ ක්‍රීඩාගාරය බෙදා ගන්න. ගොඩක් දේවල් ඉගෙන ගන්න වගේම ඔවුන්ට සහ අපේ ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩිකාවන්ට මගේ දැනුම බෙදා දෙන්නත් පුළුවන්.” 

2024 WPL තරගාවලිය පෙබරවාරි මස 23 වැනි දා ආරම්භ වීමට නියමිත අතර, තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

ESPN Cricinfo ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<