දඹුලු ක්‍රීඩිකාවෝ 2 වැනි ජයත් ලබා ගනී

SLC Women's National Super League 2024

98
SLC Women's National Super League 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Women’s National Super League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ 2 වැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට Dambulla Women කණ්ඩායම අද (08) සමත් වුනා.

අද නිමා වූ අනෙකුත් තරගවල දී Colombo Women කණ්ඩායම තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කරද්දී  Galle Women කණ්ඩායම මේ දක්වා පැවැති තරග 2 ම පරාජයට පත් වූවා.

මේ අතර අද නිමා වූ තරගවල දී Colombo Women කණ්ඩායමේ නෙත්මි පූර්ණා ද, Kandy Women කණ්ඩායමේ හංසිමා කරුණාරත්න සහ කවීෂා දිල්හාරි ද, Dambulla කණ්ඩායමේ සඳලි වීරසිංහ සහ ඉමල්කා මෙන්ඩිස් අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

Galle Women සහ Colombo Women

o ක්‍රීඩාංගණය – P. Sara Oval, කොළඹ

o කාසියේ වාසිය – Galle Women

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ද Galle Women ක්‍රීඩිකාවන්ට තම අපේක්ෂිත ඉලක්කය කරා පිවිසීමට හැකි වෙන්නේ නැහැ. ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 132ක් පමණයි.

එම ඉනිම වෙනුවෙන් ඉහළ ම දායකත්වය දැක් වූයේ නිලක්ෂනා සඳමිනි. ඇය පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා. ඇය ආරම්භක පිතිකාරිනී සුභද්‍රා සවනි සමඟ එක් වෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 45ක දී ලකුණු 35ක සබඳතාවක් එක් කළා. එය ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාව වු අතර සුභද්‍රා සවනි පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී තරුෂි තත්සරණි ලකුණු 34කට කඩුලු 4ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී තාරිකා සෙව්වන්දි ද ලකුණු 35කට කඩුලු 3ක් දවා ගනිමින් Galle Women කණ්ඩායම අමාරුවේ දැම්මා.

ඊට අමතර ව සචිනි නිසංසලා කඩුලු 2ක් ද සහ ඉනෝෂි ප්‍රනාන්දු කඩුල්ලක් ද දවා ගත්තා.

පහසු ඉලක්කයක් සපුරා ගැනීම සඳහා පිටියට පිවිසි Colombo Women ක්‍රීඩිකාවෝ පන්දු 121ක් සහ කඩුලු 8ක් ඉතිරි ව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගත්තා. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනී නෙත්මි පූර්ණා පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තා.

ඇය අනෙක් ආරම්භක පිතිකාරිනී ප්‍රසාදනී වීරක්කොඩි සමඟ එක් වෙමින් පළමු කඩුල්ලට පන්දු 121ක දී ලකුණු 86ක සබඳතාවක් එක් කළා. ප්‍රසාදනී වීරක්කොඩි පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.

තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී නායිකා හසිනි පෙරේරා පන්දු 36කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 22ක් ද සහ නවෝද්‍යා නෙත්මිණි නොදැවී ලකුණු 8ක් ද ලබා සිටියා.

දැවී ගිය කඩුලු 2 කාව්‍යා කාවින්දි සහ දුලංගා දිසානායක අතර බෙදී ගියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Galle Women – සියලුම දෙනා දැවී 132 (39.0)සුභද්‍රා සවනි 21, නිලක්ෂනා සඳමිනි 22, තාරිකා සෙව්වන්දි 3/35, සචිනි නිසංසලා 2/17, තරුෂි තත්සරණි 4/34
  • Colombo Women –කඩුලු 2ක් දැවී 133 (29.5)නෙත්මි පූර්ණා 55, ප්‍රසාදනී වීරක්කොඩි 34, හසිනි පෙරේරා නොදැවී 22, කාව්‍යා කාවින්දි 1/15

Colombo Women කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

Kandy Women Dambulla Women

o ක්‍රීඩාංගණය – Colts, හැව්ලොක් ටවුන්.

o කාසියේ වාසිය – Dambulla Women

කාසියේ වාසිය දිනා ගත් Dambulla Women නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Kandy Women කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 237ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් හංසිමා කරුණාරත්න සහ නායිකාව වන කවීෂා දිල්හාරි අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීම කැපී පෙණුනා.

හංසිමා කරුණාරත්න පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණ 70ක් ලබා ගත් අතර එය අද දවසේ වාර්තා වූ වැඩිම පෞද්ගලික ලකුණු ප්‍රමාණයයි.

කවීෂා දිල්හාරි පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව තෙවැනි කඩුල්ලට පන්දු 90ක දී ලකුණු 88ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වූවා.

ඊට අමතර ව අමා කාංචනා ද පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 9 දෙනෙක් ම යොදා ගත්ත ද ඒ අතුරින් 5 දෙනෙක් පමණක් කඩුල්ල බැගින් දවා ගත්තා. දැවී ගිය අනෙක් කඩුලු දෙක අයත් වූයේ දුවද්දී දැවී යෑම්වලටයි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Dambulla Women කණ්ඩායම පන්දු 13ක් ඉතිරිව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගත්තා. ජයග්‍රාහී එම ගමනේ දී සඳලි වීරසිංහ සහ ඉමල්කා මෙන්ඩිස් කදිම ආරම්භයක් අර ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 179ක දී ලකුණු 130ක සබඳතාවක් එක් කළා. පළමුවෙන් දැවී ගිය ඉමල්කා මෙන්ඩිස් පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තා.

අනතුරු ව සඳලි වීරසිංහ පන්දු පන්දු 112කට දැවී යද්දී හතරේ පහර 9ක් සමඟ ලකුණු 62ක් ලබා සිටියා.

තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී නායිකා හර්ෂිතා සමරවික්‍රම පන්දු 55ක දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 45ක් ද සහ  ඇය සමඟ අනෙක් අන්තයේ සිටි මල්ෂා ෂෙහාන් පන්දු 8ක දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 17ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 51කට කඩුලු 2ක් දවා ගත් අතර අමා කාංචනා කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Kandy Women – කඩුලු 7ක් දැවී 237 (50.0)හංසිමා කරුණාරත්න 70, කවීෂා දිල්හාරි 61, අමා කාංචනා 38, උදේශිකා ප්‍රබෝධනී 1/06
  • Dambulla Women– කඩුලු 5ක් දැවී 240 (47.5)සඳලි වීරසිංහ 62, ඉමල්කා මෙන්ඩිස් 61, හර්ෂිතා සමරවික්‍රම 45, කවීෂා දිල්හාරි 2/51

Dambulla Women කණ්ඩායමට කඩුලු 5ක ජයග්‍රහණයක්.

තරගාවලියේ මිළඟ තරග මේ මස 10 වැනිදා පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<