Bolගෙන් නව ලෝක වාර්තාවක්; Holloway අපරාජිතයි!

World Athletics Indoor Championship 2024

80

ස්කොට්ලන්තයේ Glasgow හිදි පැවැත්වෙන ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනය අද (03) අලුයම අවසන් වුනේ නව ලෝක වාර්තාවක් ද සමඟයි. 

දෙවන දිනයේ උදෑසන වරුවේ දී පිරිමි දුර පැනීමේ ඉසව්ව පැවැත්වුණු අතර එහි දී පළමු ස්ථානය හිමි කර ගැනීමට ලෝක ශූර ග්‍රීසියේ Miltiadas Tentoglou විසින් සමත් වුනේ මීටර් 8.22ක දුරක් තරණය කරමිනුයි. නමුත් ඔහුට විශාල අභියෝගයක් ලබා දුන් තවමත් 19 හැවිරිදි වියේ පසු වන ඉතාලි ක්‍රීඩක Mattia Furlani විසින් එහි රිදී පදක්කම ජයග්‍රහණය කළ අතර, ඔහුගේ හොඳම දක්ෂතාව ලෙසත් වාර්තා වුනේ මීටර් 8.22ක් ම වීම විශේෂත්වයක්. 

එමෙන්ම ඊයේ (02) සවස් වරුවේ දී ද ඉසව් රැසක අවසන් මහා තරග පැවැත්වුණු අතර, ඒ අතුරින් කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ජය තහවුරු කර ගැනීමට 23 හැවිරිදි බ්‍රිතාන්‍ය ක්‍රීඩිකා Molly Caudery විසින් සමත් වුනේ එහි ප්‍රබල ක්‍රීඩිකාවන් වූ Katie Moon සහ Sandi Morrisව පහළට ඇද දමමිනුයි. 

පිරිමි තුන් පිම්ම ඉසව්වේ දී ද තියුණු තරගයක් දක්නට ලැබුණු අතර මීටර් 17.53ක් තරණය කළ Hugues Fabrice Zango එහි රන් පදක්කම ජයග්‍රහණය කළා. 

මේ අතර කාන්තා මීටර් 3000 ඉසව්ව ජයග්‍රහණය කරතැයි බොහෝ බලාපොරොත්තු තබා සිටි ඉතියෝපියාවේ Gudaf Tsegay දෙවැනි තැනට ඇද දැමූ ඇමරිකානු ක්‍රීඩිකා Elle Pierre නව තරගාවලි වාර්තාවක් ද සමඟින් එම ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

එමෙන්ම පිරිමි මීටර් 3000 ඉසව්වේ දී විශිෂ්ට ධාවනයක නිරත වූ බ්‍රිතාන්‍යයේ Josh Kerr 7.42.98ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් එහි රන් පදක්කම ජයග්‍රහණය කළා. 

මීටර් 400 පිරිමි ඉසව්ව නව ජාතික වාර්තාවක් ද සමඟින් ජයග්‍රහණය කිරීමට බෙල්ජියමේ Alexander Doom සමත් වුනේ, ඉසව්වේ වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයා වූ නෝර්වේ ජාතික Karsten Warholmව දෙවැනි ස්ථානයට ඇද දමමිනුයි. 

පිරිමි මීටර් 60 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ලෝක වාර්තාවට හිමි කම් කියන මෙන්ම වත්මන් ලෝක ශූරයා ද වන ඇමරිකාවේ Grant Holloway විසින් තත්පර 7.29ක කාලයක් සමඟ නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවීමට සමත් වෙමින් සිය ඉසව්ව ජයග්‍රහණය කළේ, මෙහි දී තමාට අභියෝග කිරීමට තරම් සමතෙකු තවමත් බිහි වී නොමැති බව සපත කරමිනුයි. එමෙන්ම මෙම තරග නිමි කාලය මෙම ඉසව්වේ සිව් වැනි හොඳම තරග නිමි කාලය ලෙස ද සටහන් වීම විශේෂත්වයක්. 

මේ අතර ඊයේ දිනයේ බොහෝ ප්‍රේක්ෂක අවධානයක් ලැබී තිබූ කාන්තා මීටර් 60 ඉසව්ව ජයග්‍රහණය කිරීමට Julien Alfred විසින් සමත් වූ අතර, එහි දී බොහෝ බලාපොරොත්තු තැබූ පෝලන්තයේ Ewa Swoboda ට ඉසව්වේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වුනා. 

දිනයේ වැඩිම අවධානය ලද ඉසව්ව බවට නිතරගයෙන් ම පත් වූ කාන්තා මීටර් 400 ඉසව්ව ජයග්‍රහණය කිරීමට නෙදර්ලන්තයේ Femke Bol විසින් සමත් වූ අතර, මෙහි දී ඇය විසින් තත්පර 49.17ක තරග නිමි කාලයක් ද සමඟ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ද සමත් වුනා. 

මීට පෙර ද මෙම ඉසව්වේ ලෝක වාර්තාව ඇය සතු වූ අතර, මීට සති කිහිපයකට පෙරයි ඇය විසින් එය පිහිටුවීමට සමත් වුනේ. මේ අතර ඇගේ ධාවන සගයා වූ Lieke Klaver මෙම ඉසව්වෙ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

ශූරතාවලියේ දෙවන දිනයේ තරග එසේ අවසන් වූ අතර, තෙවන සහ අවසන් දිනයේ තරග අද (03) සවස ආරම්භ වීමට නියමිතයි.  

එහි දී කාන්තා සහ පිරිමි මීටර් 400×4, පිරිමි උස පැනීම, කාන්තා දුර පැනීම, මීටර් 800 සහ 1500 වැනි ඉසව් ගණනාවක අවසන් තරග දැක බලා ගැනීමට හැකියාව ලැබෙනු ඇති. 

එමෙන්ම ශ්‍රී ලංකා වෙලාවෙන් හෙට අලුයම 12.30ට පිරිමි රිටි පැනීම ඉසව්ව පැවැත්වීමට නියමිත අතර, එහි දී වත්මන් ලෝක ශූර ස්වීඩනයේ Mondo Duplantis තරග වැදීමට නියමිතයි. බොහෝ විට මෙහි දී ඔහු නව ගෘහස්ථ ලෝක වාර්තාවක් කරා යෑමට උත්සාහ දරන ආකාරය ද දක්නට ලැබෙනු ඇති. 

ශූරතාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<