Omair සහ Shakeelගේ අර්ධ ශතකවලට වැස්ස හරස් වෙයි

පාකිස්තානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

3542

ශ්‍රී ලංකා A හා පකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම් අතර අද (15) පැවති තෙවැනි නිල නොවන එක්දින තරගය වර්ෂාව නිසාවෙන් විසඳුමක් රහිතව අවසන් කිරීමට සිදු වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය සමව අවසන් කිරීම සඳහා තීරණාත්මක වූ මෙම තරගයේ කාසිය වාසියි දිනා ගත් ශ්‍රී ලංකා A නායක කමිඳු මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහර දීමට පාකිස්තානයට ආරාධනා කළා.

  • ශ්‍රී ලංකා A කණ්ඩායම; ළහිරු උදාර, ලසිත් කෲස්පුල්ලේ, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම,අශේන් බණ්ඩාර, සහන් ආරච්චිගේ, පුලින තරංග, හිමේෂ් රාමනායක, ශිරාන් ප්‍රනාන්දු, කළණ පෙරේරා, අශේන් ඩැනියල්.
  • පකිස්තාන A කණ්ඩායම; Omair Yousuf, Abdullah Shafique, Saud Shakeel (c), Mohammad Taha, Agha Salman, Qasim Akram, Mohammad Haris, Abbas Afridi, Naseem Shah, Khurram Shahzad, Salman Khan

තරගය ජය ගනිමින් තරගාවලිය ජයග්‍රහණය කිරීමේ අරමුණින් පිටියට පිවිසි පාකිස්තාන A ඉනිම ආරම්භ කළේ Omair Yousuf සහ Abdullah Shafique විසිනුයි.

පළමු කඩුල්ල සඳහා ලකුණු 49ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අනතුරුව ලකුණු 27ක් ලබා සිටි Abdullah Shafique දවා ගැනීමට හිමේෂ් රාමනායක සමත් වුනේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වද්දමිනුයි.

දෙවැනි කඩුල්ල සඳහා පිටියේ එක්වූ Saud Shakeel සහ Omair Yousuf එම කඩුල්ල සඳහා ලකුණු 93ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 59ක් ලබා සිටි Omair Yousuf අශේන් ඩැනියල්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

ඉන්පසු පිටියට පිවිසි Agha Salman ලකුණු පහකට සහ Mohammad Haris ලකුණු 10කට පිටියෙන් ඉවත් කිරීමට කමිඳු මෙන්ඩිස් සහ අශේන් ඩැනියල් සමත් වුනේ පාකිස්තාන ලකුණු පුවරුව ලකුණු 167/4ක් බවට පත්කරමිනුයි.

නමුත් ඉන්පසුව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද වැටුණු මහා වර්ෂාව නිසාවෙන් තරගය අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළා. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි Saud Shakeel පන්දු 72ක් තුළ නොදැවී ලකුණු 59ක් රැස්කර සිටියා.

මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟ තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගැනීමට පාකිස්තානු A කණ්ඩායමට හැකි වුනා.

  • පාකිස්තාන A කණ්ඩායම – 167/4 (32): Omair Yousuf 59, Saud Shakeel 59*, Abdullah Shafique 27, අශේන් ඩැනියල් 2/44, කමිඳු මෙන්ඩිස් 1/9.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<