NSL පිටියේ පළමු ශතකය හර්ෂිතාගෙන්

SLC Women's National Super League 2024

131

ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු වරට සංවිධානය කරන Women’s National Super League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් (06) පැවැති තරගවල දී Dambulla Women කණ්ඩායමේ 25 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකාරිනියක් වූ හර්ෂිතා සමරවික්‍රම ශතකයක් වාර්තා කිරීම කැපී පෙණුනා.

ඇය මෙම ශතකය වාර්තා කළේ Galle Women කණ්ඩායමට එරෙහිවයි.

ඊට අමතර ව Dambulla Women කණ්ඩායමේ ඉමල්කා මෙන්ඩිස්, Colombo Women කණ්ඩායමේ හසිනි පෙරේරා, Kandy Women කණ්ඩායමේ කවීෂා දිල්හාරි සහ අමා කාංචනා කැපී පෙණෙන ඉනිම් ක්‍රීඩා කළා.

නිමා වූ තරගවල දී Galle Women පරාජය කළ Dambulla Women කණ්ඩායම ද සහ Colombo Women පරාජය කළ Kandy Women කණ්ඩායම ද ජයග්‍රහණ වාර්තා කළා.

Galle Women සහ Dambulla Women

o ක්‍රීඩාංගණය – P. Sara Oval, කොළඹ

o කාසියේ වාසිය – Dambulla Women

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුලු ක්‍රීඩිකාවෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 280ක් ලබා ගත්තේ නායිකා හර්ෂිතා සමරවික්‍රම එක් කළ ශතකයක් ද සමඟිනුයි.

ඇය පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 130ක් ලබා ගත්තා.

ඊට අමතර ව ඇය ආරම්භක පිතිකාරිනී ඉමල්කා මෙන්ඩිස් එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 108ක දී ලකුණු 81ක සබඳතාවක් ද තම ඉනිමට එක් කිරීමට සමත් වූවා. ඉමල්කා මෙන්ඩිස් 2 වැනි කඩුල්ල ලෙසින් ලකුණු 127 දී දැවී යද්දී පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා.

අනතුරු ව තෙවැනි කඩුල්ල සඳහා ද ලකුණු 72ක සබඳතාවක් එක් කිරීමට ඇය සමත් වෙනවා. ඒ සත්‍යා සංදීපනී හා එක් වෙමින්. පන්දු 80ක දී එක් වූ එම සබඳතාව බිඳී යන්නේ සත්‍යා සංදීපනී පන්දු 44ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා තිබිය දී දැවී යෑමත් සමඟිනුයි.

දඹුලු ඉනිම නිමා වන විට හර්ෂිතා සමරවික්‍රම සහ කෞෂිනි නුත්‍යාංගා 5 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණ ලකුණු 70ක සබඳතාවක් පන්දු 41ක දී එක් කළා. කෞෂිනී නුත්‍යාංග නොදැවී එක් කළ ලකුණු සංඛ්‍යාව 19ක් වූ අතර ඊට පන්දු 13ක් පමණක් වැය වූ අතර හතරේ පහර 2ක් ඒ අතර වූවා.

පන්දු යැවීමේ දී තාරුකා ශෙහානි ලකුණු 47කට කඩුලු 2ක් දවා ගත් අතර ඔෂදී රණසිංහ සහ සඳනි ද අල්විස් කඩුල්ල බැගින් ලබා ගත්තා.

හඹා ගිය Galle Women ඉනිම ලකුණු 102කට සීමා කිරීමට දඹුලු ක්‍රීඩිකාවෝ සමත් වීම කැපී පෙණුනා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නිලක්ෂණා සඳමිනි. ඇය ලකුණු 27ක් ලබා ගත් අතර ඒ වෙනුවෙන් පන්දු 42ක් වැය කළ අතර හතරේ පහරක් සහ හයේ පහරක් ඒ අතර වූවා.

ගාලු ක්‍රීඩිකාවෝ අසරණ කිරීමේ දී සත්‍යා සංදීපනී, මල්ෂා ශෙහානි සහ නිමේෂා මධුශානි කඩුලු 2 බැගින් දවා ගත් අතර උදේශිකා ප්‍රබෝදනී කඩුල්ලක් දවා ගත්තා.

Dambulla Women – කඩුලු 4ක් දැවී 280 (50.0) සඳලි වීරසිංහ 22, ඉමල්කා මෙන්ඩිස් 51, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 130, සත්‍යා සංදීපනී 32, කෞෂිනි නුත්‍යාංගා නොදැවී 19, තාරුකා ශෙහානි 2/47

Galle Women – සියලුම දෙනා දැවී 102 (38.0) නිලක්ෂණා සඳමිනි 27, සත්‍යා සංදීපනී 2/15, මල්ෂා ශෙහානි 2/16, නිමේෂා මධුශානි 2/24

Dambulla Women කණ්ඩායමට ලකුණු 178ක ජයක්.

Kandy Women සහ Colombo Women

o ක්‍රීඩාංගණය – Colts, කොළඹ

o කාසියේ වාසිය – Kandy Women

මෙම තරගයෙන් පන්දු 16ක් ඉතිරිව තිබිය දී කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට Kandy Women කණ්ඩායම සමත් වීම කැපී පෙණුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් Colombo Women කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 179ක් ලබා ගත් අතර Kandy Women කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 181ක් ලබා ගනිමින් මෙම ජයග්‍රහණය තහවුරු කර ගත්තා.

කොළඹ ඉනිමේ දී නායිකා හසිනි පෙරේරා පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 53ක් ලබා ගැනීම කැපී පෙණුනා. ලකුණු 3කට කඩුලු 2ක් දැවී අසරණව තිබුණ ඉනිමේ තෙවැනි කඩුල්ලට පන්දු 111කට ලකුණු 91ක සබඳතාවක් එක් කිරීමට හසිනි පෙරේරා සහ නවෝද්‍යා නෙත්මිණි සමත් වීම කැපී පෙණුනා.

නවෝද්‍යා නෙත්මිණි පන්දු 55ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 33ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී විහාරා සෙව්වන්දි, අමා කාංචනා සහ කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් දවා ගනිද්දී අශිනි සමින්දි, ඉනෝකා රණවීර සහ රශ්මි සිල්වා කඩුල්ල බැගින් බෙදා ගන්නවා.

පිළිතුරු මහනුවර ඉනිමේ දී නායිකා කවීෂා දිල්හාරි සහ අමා කාංචනා අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙණුනා.

කවීෂා දිල්හාරි පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 62ක් ලබා ගත් අතර අමා කාංචනා පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ලට පන්දු 119ක දී ලකුණු 88ක සබඳතාවක් ගොඩ නැගුණ ද එය තරගයේ ජයග්‍රහණය දක්වා යෑමට තරම් ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ආරම්භක පන්දු යැවූ ඉනෝෂි ප්‍රනාන්දු ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව සචිනි නිසංසලා සහ ජනාදි අනාදි කඩුලු 2ක් බැගින් බෙදා ගනිද්දී සඳුනි නිසංසලා ද කඩුල්ලක් දවා ගත්තා.

Colombo Women – සියලුම දෙනා දැවී 179 (44.2) නවොද්‍යා නෙත්මිණි 33, හසිනි පෙරේරා 53, පියුමි වත්සලා 24, අමා කාංචනා 2/27, කවීෂා දිල්හාරි 2/33, විහාරා සෙව්වන්දි 2/26

Kandy Women – කඩුලු 9ක් දැවී 181 (47.4) කවීෂා දිල්හාරි 62, අමා කාංචනා 57, ඉනෝෂි ප්‍රනාන්දු 3/18, ජනාදි අනාලි 2/40, සචිනි නිසංසලා 2/28

Kandy Women කණ්ඩායමට කඩුල්ලක ජයක්.

තරගාවලියේ මිළඟ තරග හෙට (8) පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<