එක රැයින් හොඳ කණ්ඩායම් බිහි නොවෙන බව Hope පවසයි

World Cup Qualifiers 2023

8011

එක්දින ක්‍රිකට් තරග රටාවේ පළමු වරට ලෝක ශූරයින් ලෙස කිරුළු දැරීමට සමත් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඉතිහාසයේ පළමු වතාවට එක්දින ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඊයේ (01) නිල වශයෙන් අහිමි වුනා.

ස්කොට්ලන්තය හමුවේ ලද කඩුලු 7ක පරාජයත් සමඟ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආධිපත්‍යයට සිදු වූ මෙම අභාග්‍ය සම්පන්න සිදුවීම පිළිබඳ සමස්ත ක්‍රිකට් ලෝකය ම අතිශය කම්පාවට පත් වී සිටින අතර මෙම පරාජිත කණ්ඩායමේ ක්‍රීඩකයින් පවා  ඒ පිළිබඳ අතිශය කනගාටුවෙන් යුතු ව සිය අදහස් පළ කරනවා.

නමුත් අතිශය බහුතරයක් විශ්වාස කරන පරිදි මෙම ගැට‍ළුවට ඉක්මන් විසඳුම් සොයා ගත නොහැකි බව කණ්ඩායම් සාමාජිකයින් පවා විශ්වාස කරනවා.

“අපි හොඳ සූදානමක් සහ අවශ්‍ය පසුබිම නැතිව මෙහේ ඇවිත් විශිෂ්ට කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරාවී කියලා බලාපොරොත්තු වෙන්න බැහැ.”

කොදෙව් නායක Shai Hope විසින් තරගයෙන් අනතුරුව සිය කණ්ඩායමේ බිඳ වැටීම පිළිබඳ පැහැදිලි කළා.

“එය අත්තිවාරමේ සිට ආරම්භ වෙන දෙයක්. අපි නැවත ගෙදර සිට වඩා හොඳින් සූදානම් විය යුතුයි. අපි අවධානය යොමු කළ යුතු බොහෝ දේවල් තියෙනවා. ඒ වගේ ම අපි පාලනය කළ හැකි දේවල් පාලනය කළ යුතුයි.

ඒක පටන් ගන්නේ එතැනින්. එක දවසක උදේ නින්දෙන් අවදි වෙද්දී හොඳ කණ්ඩායමක් වෙලා තියේවී කියලා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ.

මෙම තරගාවලියේ දී කොදෙව් කණ්ඩායමේ පන්දු රැකීම අතිශය දුර්වල මට්ටමක රැඳී තිබූ අතර මීට පෙර අවස්ථාවක දී ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු Daren Sammy විසින් ද සිය ක්‍රීඩකයින්ව ඒ සම්බන්ධයෙන් විවේචනය කළා.

ඊයේ තරගයෙන් අනතුරුව Hope විසින් ද සිය ක්‍රීඩකයින්ගේ පන්දු රැකීම් ඇතුළු දුර්වල ක්‍රීඩා විලාශය පිළිබඳ මෙසේ අදහස් පළ කළා.

“මම හිතන්නේ ඒක මානසික මට්ටම අනුව වෙන දෙයක්. ඒක ඇත්තටම ආකල්පමය දෙයක්.

මම හිතන විදිහට අපි හොඳ ආකල්ප සමඟ විශාල උත්සාහයක් යෙදිය යුතුයි. උඩපන්දු ගිලිහෙනවා, පන්දු මඟ හැරෙනවා, ඒක ක්‍රීඩාවේ කොටසක්.

මම හිතන්නේ නැහැ ක්‍රීඩාවේ එකම මොහොතකවත් අපි අපේ 100%ක උත්සාහයක් දැරුවා කියලා. අපි සමහර වෙලාවට ඒක කළා, නමුත් නිසැකව ම අපි එය දියුණු කර ගත යුතුයි.

තරගාවලියේ තවදුරටත් තරගකාරී ලෙස රැඳී සිටීමට නම් ඊයේ ස්කොට්ලන්තය සමඟ පැවැත්වුණු තරගය ජයග්‍රහණය කිරීම කොදෙව් කණ්ඩායමට අනිවාර්යය වුනා. නමුත් ඊයේ තරගයේ පළමු ඉනිමේ පිතිකරණයේ යෙදුණු කොදෙව් ඉනිමේ පළමු කඩුලු 6ම ලකුණු 81ක් තුළ දැවී ගියා.

ඒ මොහොතේ කඩුල්ලට පැමිණි හිටපු කොදෙව් නායක Jason Holder විසින් සිය කණ්ඩායම ගෞරවාන්විත ලකුණු ප්‍රමාණයක් කරා රැගෙන යාමට අතිශය මහන්සි ගත්තා. නමුත් ඔහුගේ උත්සාහය ජයග්‍රහණයක් කරා යාමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.

එමෙන්ම Holder විසින් ස්කොට්ලන්තයට එරෙහිව පන්දු යැවීමෙන් ද සිය උපරිම තර්ජනය එල්ල කිරීමට අසාර්ථක උත්සාහයක් දැරුවා.

කෙසේ වෙතත් ස්කොට්ලන්තය විසින් කෙමෙන් සිය ජයග්‍රාහී ඉලක්කය වෙත ළඟා වත්ම කොදෙව් ක්‍රීඩකයින්ට සිය හැඟීම් සඟවා ගෙන සිටීම තරමක් අපහසු වූ බව පෙනී ගිය අතර, Jason Holder ඒ අතුරින් වැඩි වශයෙන් කැපී පෙනුණා.

මීට අමතරව සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වුණු තරගය නිම වීමෙන් පසුව කොදෙව් ඉනිම අවසන් වන තෙක් පිටියේ රැඳී සිටිමින් තරගය ජයග්‍රහණයක් කරා ගෙන යාමට උත්සාහ කළ Akeal Hosein තරගයෙන් අනතුරුව සංවේදී වූ ආකාරය ද ක්‍රිකට් රසිකයින් හට කලකට අමතක නොවෙනු ඇති බව විශ්වාස කළ හැකියි.

නමුත් තව දුරටත් එසේ හැඬූ කඳුළින් යුතුව සිටීමෙන් ඵලක් නොමැති බව Holder විසින් තරගයෙන් අනතුරුව ප්‍රකාශ කළා.

“ඔළුව පහත් කර ගෙන ඉඳලා වැඩක් නැහැ. අපි වඩා හොඳ වීමට අවශ්‍ය ක්‍රම සොයා ගත යුතුයි. අප සිටින්නේ කොතැන ද යා යුතු කොතැනට ද යන්න අපි විසින් තේරුම් ගත යුතුයි.”

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙම තරගාවලියේ තවත් තරග දෙකක් (ශ්‍රී ලංකාව සහ ඕමානය සමඟ) ක්‍රීඩා කිරීමට ඉතිරි වී තිබෙනවා. එම තරග ද්විත්වය ජයග්‍රහණය කරමින් නැවතත් ජයග්‍රාහී මානසිකත්වයක් සොයා ගැනීම සිය අරමුණ බවයි නායක Hope විසින් සඳහන් කරන්නේ.

“අපි දන්නවා තව තරග දෙකක් ඉතුරුයි. අඩු ම තරමේ තරගාවලිය ධනාත්මක ලෙස අවසන් කිරීමට අපි ක්‍රමයක් සොයා ගත යුතුයි.”

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<