ලහිරුගේ ආබාධය නිසා ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්

World Cup Qualifiers 2023

5614
World Cup Qualifiers 2023

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ නෙදර්ලන්තය සමඟ පැවති තරගය අතරතුර ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර හට තරගාවලියේ ඉතිරි තරග අහිමි වන බව වාර්තා වනවා.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි කණ්ඩායම් හය වටයට නියමිතව ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය ඊයේ (30) නෙදර්ලන්තය සමඟ පැවැත්වුණු අතර එම තරගයේ නෙදර්ලන්ත ඉනිමේ පළමු පන්දුවාරය යොමු කිරීමෙන් අනතුරුව ලහිරු කුමාර ආබාධයකට ලක් වුනා.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ද ඔහු තවත් එක් පන්දුවාරයක් යොමු කළ නමුත් එතැනින් පසුව ලහිරු ක්‍රීඩාංගණයට පිවිසුණේ නැහැ.

මෙම ආබාධය නිසා ලහිරු හට තරගාවලියේ ඉතිරි තරග සියල්ල ම අහිමි වී යනු ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රීඩක ශරීර යෝග්‍යතාව ඉහළ දැමීම වෙනුවෙන් පිහිටුවා ඇති ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ දී (High Performance Center) සිය ආබාධය සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගනු ඇති බවත් වාර්තා වනවා.

මේ අනුව ලහිරු කුමාරගෙන් හිස් වන වන ශ්‍රී ලංකා සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේ කැඳවා තිබෙනවා.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත මීළඟ තරගය හෙට (02) සත්කාරක සිම්බාබ්වේ දේශය සමඟ පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<