ප්‍රවීන් ජයවික්‍රම අවසන් දිනයේ දී ඕස්ට්‍රේලියානුවන් මවිත කරයි

8733

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය ආරම්භ කරමින් හෝබාර්ට් හිදී පැවැත්වුනු එකම ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද (10) සමත් විය. නුහුරු නුපුරුදු තණතිලි වලදී ප්‍රබල ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා නිසා ඉදිරි තරග පිලිබඳව යම් සුබවාදී බලාපොරොත්තුවක් තබා ගැනීමට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදාවී ඇත.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිමට විශ්ව චතුරංග සවියක් වෙයි

සත්කාරක ඕස්ට්‍රේලියානු යොවුන් පිළට එරෙහිව පැවැත්වෙන යොවුන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (09) නිමා වන විට ශ්‍රී ලංකාව දැඩි අවදානම් තත්ත්වයකට…

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට ලකුණු 309ක් ලෙස සටහන් වූ ඕස්ට්‍රේලියානු ප්‍රථම ඉනිම හඹා යමින් සිටි ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 9ක් දැවී රැස් කරගෙන සිටියේ ලකුණු 149ක් පමණි. එබැවින් අද තරගය ආරම්භ වනවිටත් සෘජු පීඩනයක් එල්ල වී තිබුනේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙසටයි. නමුත් අද උදෑසනින්ම ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම බිඳ දැමීමට ඉඩ නොදුන් අවසන් පිතිකරුවන් දෙදෙනා අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක සබඳතාවයක් ගොඩ නැංවූහ. වේග පන්දු යවන්නෙකු ලෙස නමක් දිනාගෙන සිටින නිපුන් රංසික අද හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 31ක් රැස් කරගෙන තම සැඟවුණු පිතිකරණ දක්ෂතාවයන් ප්‍රකට කළේය.

ප්‍රථම ඉනිමේ ලකුණු 125ක ඉදිරියක් ලබාගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට අවශ්‍ය වූයේ දෙරට අතර පැවැත්වෙන මෙම එකම යොවුන් ටෙස්ට් තරගයෙන් කෙසේ හෝ ජය තහවුරු කර ගැනීමටයි. එබැවින් මුල සිටම වේගවත් පිතිකරණය යෙදීමට ඔවුන් විශාල උත්සාහයක් දැරූහ. නමුත් සාන්ත සෙබස්තියන් විද්‍යලයෙන් බිහිවුණු දක්ෂ වමත් දඟ පන්දු යවන්නෙක් වන ප්‍රවීන් ජයවික්‍රමගෙන් ඒ සඳහා ඉඩක් ලැබුනේ නැත. ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා ද ඇතුළුව ප්‍රතිවාදී කඩුලු 6ක් ලකුණු 40ක් තුලදී දවාගත් ප්‍රවීන් ඕස්ට්‍රේලියානුවන්ගේ සැලසුම් වලට අනපේක්ෂිත බාධකයක් බවට පත්විය. ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් ලකුණු 142ක් ලබා තම දෙවැනි ඉනිම අත්හිටුවන විට ඔවුන්ගේ කඩුලු 8ක්ම බිඳ වැටී තිබුණි.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 268ක අභියෝගයක් හිමිවුණු ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනාම පාහේ තමන්ට හැකි පමණින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීම සඳහා සහාය විය. ප්‍රථම ඉනිමේදී සැක් එවන්ස් යැවූ වේගවත් යෝකර් පන්දුවට ගොදුරු වුනු ශ්‍රී ලංකා නායක කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉනිමේදී තම වගකීම මැනවින් තේරුම් ගනිමින් ලකුණු 41ක් රැස්කර ගත්තේය. ඒ පන්දු 104කට මුහුණ දෙමිනි. නිපුන සුමනසිංහ අංක 8 පිතිකරු ලෙසින් පිටියට පිවිස නොදැවී ලකුණු 31ක් ලබා ගැනීමද ශ්‍රී ලංකාවට මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමාකර ගැනීමට අතිශයින්ම ඉවහල් විය.

දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඩිම තර්ජනයක් එල්ල කල දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක රයන් හැඩ්ලි ලකුණු 41කට කඩුලු 4ක් දවා ගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා කැටුව යන්නට ප්‍රබල උත්සාහයක් ගත්තේය. නමුත් අවසන් මොහොත දක්වාම සංයමයකින් යුතුව ක්‍රීඩා කල ශ්‍රී ලංකා පිතිකරුවන්ට කඩුලු 7ක් දැවී ලකුණු 201ක් රැස් කරගෙන තරගය ජය පරාජයෙන් තොරව නිමාකර ගැනීමට හැකිවිය.

ඉතාමත් හොඳ වේග පන්දු යවන්නන් සහිත ප්‍රබල ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ මෙම දක්ෂතා සෑහීමකට පත්විය තත්ත්වයක තිබුණු බව නොකියාම බැරිය. දැන් ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගය වන්නේ දෙරට අතර ලබන 13 වැනිදා ආරම්භ වන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියයි. එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට හඹා යා හැකි තරමේ ලකුණු සංඛ්‍යාවකට ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ව සීමාකර ගැනීමේ වැඩි වගකීමක් නිපුන් රංසික, ප්‍රවීන් ජයවික්‍රම වැනි පන්දු යවන්නන්ට හිමිවනු ඇත.

ජාත්‍යන්තර තරග අත්දැකීම් සහිත කමිඳු මෙන්ඩිස් ජෙහාන් ඩැනියෙල් වැනි ක්‍රීඩකයින්ට ද එම එක්දින තරග පහේදී පැවරී ඇති කාර්‍යභාරය සුළුපටු නොවේ. නිමාවුනු එංගලන්ත සහ දකුණු අප්‍රිකානු සංචාර වලදී සිදුවූ අයුරින්ම උත්සාහයෙන් සහ කැපවීමෙන් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ එක්දින තරගාවලියේ දී යම් පෙරළියක් කිරීමට හැකි වුවහොත් සංචාරයේ වැඩි ගෞරවය දිනාගෙන නැවතත් මව්බිමට සම්ප්‍රාප්ත වීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට හොඳ අවස්ථාවක් ඇත.

ඕස්ට්‍රේලියානු යොවුන් පිළ – කඩුලු 6ක් දැවී ලකුණු 309 (පන්දුවාර 79.3): ජැක් එඩ්වඩ්ස් 106, ජොනතන් මර්ලෝ 100*, ජේසන් සංගා 41, රයන් හැක්නි 17, පරාම් උප්පාල් 15, නිපුන් රංසික 3/46, ජෙහාන් ඩැනියෙල් 1/34.

ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 184 (පන්දුවාර 51.4): විශ්ව චතුරංග 39, නිපුන් රංසික 31, ක්‍රිෂාන් සංජුල 22, ජෙහාන් ඩැනියෙල් 17, නිපුන සුමනසිංහ 16, සැක් එවන්ස් 4/61, විල් සදර්ලන්ඩ් 2/25, ලොයිඩ් පොප් 2/39.

ඕස්ට්‍රේලියානු යොවුන් පිළ (දෙවන ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 142 (පන්දුවාර 30): මැතිව් ස්පෝස් 33, රයන් හැක්නි 27, විල් සදර්ලන්ඩ් 23, ලෙවින් මැලඩේ 17, ජැක් එඩ්වඩ්ස් 12, ප්‍රවීන් ජයවික්‍රම 6/40, ජෙහාන් ඩැනියෙල් 1/27, නිපුන් රංසික 1/35.

ශ්‍රී ලංකා යොවුන් පිළ (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 201 (පන්දුවාර 56): කමිඳු මෙන්ඩිස් 41, නිපුන සුමනසිංහ 31*, ලසිත් කෲස්පුල්ලේ 24, ජෙහාන් ඩැනියෙල් 21, හසිත බෝයගොඩ 18, රයන් හැඩ්ලි 4/41, ඉයන් කාලිසල් 1/16, විල් සදර්ලන්ඩ් 1/34.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට