සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ලකුණු සටහන තේරුම් ගන්න අමාරු ද?

World Cup Qualifiers 2023

10403

2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි කණ්ඩායම් හය ක්‍රීඩා කරන තරග වටයේ ලකුණු ලැබෙන පිළිවෙළ සහ තරග පැවැත්වීමට නියමිත පිළිවෙළ කෙනෙක් ව තරමක් වික්ෂිප්ත කරන්න පුළුවන් විදිහේ එකක්.

තරගාවලියේ මූලික වටයේ සියලු ම තරග මේ වෙද්දී අවසන් වෙලා. ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් පහක් මීළඟ තරග වටය වෙනුවෙන් දැන් සුදුසුකම් ලබලා අවසානයි.

A කාණ්ඩයේ ලකුණු සටහන

B කාණ්ඩයේ ලකුණු සටහන

මේ අනුව A කාණ්ඩය නියෝජනය කරපු සිම්බාබ්වේ, නෙදර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් තුනත්, B කාණ්ඩය නියෝජනය කළ ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය කණ්ඩායම් තුනත් ඉදිරි දින කිහිපයේ දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් තරග වදින්න නියමිත වෙලා තියෙනවා.

නමුත් මේ තරග පැවැත්වෙන පිළිවෙළ, ඒ වගේ ම මේ තරගාවලියේ මූලික වටයේ සහ සුපිරි කණ්ඩායම් හය තරග වටයේ දී ලකුණු සටහන පෙළගැස්වෙන ආකාරය ගැන බොහෝ දෙනෙකුට ගැටලු ඇති වෙලා තිබෙන බව සමාජ මාධ්‍ය පිරික්සමින් යද්දී දකින්න ලැබුණු කාරණයක්. ඒ නිසා තරගාවලිය පැවැත්වීමට නියමිත ආකාරය සවිස්තරාත්මක ව උදාහරණ සහිතව පහතින් ඔබට කියවන්න අවස්ථාව ලැබෙනවා.

මූලික වටය

තරගාවලියේ මූලික වටයේ දී කිසිම වෙනසක් නැතිව පෙර අපිට හුරු පුරුදු රටාවේ ම තරගාවලියක් සහ ලකුණු සටහනක් දකින්න පුළුවන්. A සහ B ලෙස නම් කළ කාණ්ඩ දෙකකින් එක් කාණ්ඩයකට කණ්ඩායම් 5 බැගින් බෙදා වෙන් කරලා තරග මේ පැවැත්වෙනවා.

උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාව අයිති වෙන B කාණ්ඩයේ දී ශ්‍රී ලංකාවට අමතරව ස්කොට්ලන්තය, ඕමානය, අයර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් තරගාවලියට සහභාගී වුනා. ශ්‍රී ලංකාවට මේ සෑම කණ්ඩායමක් සමඟම ක්‍රීඩා කරන්න සිදු වුනා.

ඒ අනුව මූලික වටයේ දී සෑම කණ්ඩායමක් ම තරග 4ක් ක්‍රීඩා කරනවා, ඒ තරග හතරේ ප්‍රතිඵල අනුව ලකුණු සටහන පිළියෙල වෙනවා.

මෙතන දී තරගයක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ලකුණු 2ක් සහ සම/විසඳුමක් රහිත ලෙස නිමා  වෙන තරගයක දී එක් ලකුණක් බැගිනුත් කණ්ඩායම්වලට පිරිනැමෙනවා.

ඒ අනුව උදාහරණයක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම සැලකුවොත් තමන් ක්‍රීඩා කළ තරග හතර ම ජයග්‍රහණය කරන්න සමත් වුන නිසා ශ්‍රී ලංකාව B කාණ්ඩයේ පෙරමුණ ගන්න සමත් වෙන්නේ ලකුණු 8ක් සමඟ. ඒ වගේ ම ශ්‍රී ලංකාවේ දළ ලකුණු වේගය සටහන් වෙලා තිබුණේ 3.047ක් විදිහට.

සුපිරි කණ්ඩායම් හය තරගය වටයට තේරී පත් වීම.

මෙතන දී තමයි කෙනෙකුට තරමක් ගැට‍ලු සහගත භාවයක් මතු වෙන්නේ. එක් කාණ්ඩයකින් ලකුණු සටහනේ මුල් ස්ථාන තුන හිමි කර ගන්න සමත් වෙන කණ්ඩායම්වලට සුපිරි හය වටයට පිවිසෙන්න අවස්ථාව හිමි වෙනවා.

එතන දී මුලින් ම සලකා බලන්නේ කණ්ඩායම් ලබා ගත්තු ලකුණු ප්‍රමාණය. ඒ ලකුණු ප්‍රමාණය සමාන වෙනවා නම් දල ලකුණු වේගය සලකා බලනවා. නමුත් මෙවර තරගාවලියේ ඒ තරම් දුරක් යන්න අවශ්‍ය වුනේ නැහැ. A සහ B කාණ්ඩ දෙකේ ම හරි පහසුවෙන් මුල් ස්ථාන තුන වෙන් කර ගන්න පුළුවන් වුනා. ඒ අනුව සුපිරි හය වටයට කණ්ඩායම් හයක් සුදුසුකම් ලැබුවා.

ඒත්….!

මේ කණ්ඩායම් සුපිරි හය තරග වටයට යන්නේ හිස් ලකුණු සටහනක් සමඟ අලුත් ම ගමනක් වෙනුවෙන් නම් නෙවෙයි. ඔවුන්ගේ මූලික වටයේ තරග දක්ෂතා සුපිරි හය තරග වටය වෙනුවෙනුත් බලපානවා. ඒ කියන්නේ යම් කණ්ඩායමක් සුපිරි හය වටයට පිවිසෙද්දී ඒ කණ්ඩායම සමඟ මූලික වටයේ ක්‍රීඩා කරමින් සුපිරි හය වටයට සුදුසුකම් ලබපු අනෙක් කණ්ඩායම් දෙක සමඟ ක්‍රීඩා කරලා ලැබුණු ලකුණු සහ දල ලකුණු ඉදිරි වටයට අරගෙන යනවා.

උදාහරණයක් විදිහට B කාණ්ඩයෙන් සුපිරි හය වටයට ශ්‍රී ලංකාව සමඟ සුදුසුකම් ලැබුවේ ස්කොට්ලන්තය සහ ඕමානය. ඉතින් ශ්‍රී ලංකාව සුපිරි හය වටයට පිවිසෙද්දී, ස්කොට්ලන්තය සහ ඕමානය සමඟ ක්‍රීඩා කරලා ලැබුණු ප්‍රතිඵලත් ඉදිරි වටයට අරගෙන යනවා.

මේ තියෙන්නේ සුපිරි හය වටය ආරම්භ වෙද්දී තියෙන ලකුණු සටහන.

මේ ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාවට දැනටමත් ලකුණු 4ක් හිමි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ස්කොට්ලන්තය සහ ඕමානය කියන රටවල් දෙක ම පරාජය කරන්න ශ්‍රී ලංකාව සමත් වීම.

නමුත් ස්කොට්ලන්තයට තියෙන්නේ ලකුණු දෙකක් විතරයි. මොකද, ඔවුන් මේ සුපිරි හයට සුදුසුකම් ලබපු කණ්ඩායම් අතරින් පරාජය කරන්න සමත් වුනේ ඕමානය පමණයි. එතකොට ඕමානය මේ රටවල් දෙක ඉදිරියේ ම පරාජය වුන නිසා ඔවුන්ගේ නම ඉදිරියෙන් එකඳු ලකුණක් වත් සටහන් වෙන්නේ නැහැ.

ඒ වගේ ම තමයි ශ්‍රී ලංකාවේ නම ඉදිරියෙන් සටහන් වෙලා තියෙන දල ලකුණු හැදෙන්නෙත් ස්කොට්ලන්තය සහ ඕමානය සමඟ පැවැත්වුණු තරග දෙකට අදාළ ව.

සුපිරි කණ්ඩායම් හයේ තරග වටය

දැන් සමීකරණය ලිහා ගැනීම හරිම පහසුයි. සුපිරි හය තරග වටයේ දී අපි දැනටමත් ඕමානය සහ ස්කොට්ලන්තය සමඟ තරග කරා කියලා තමයි සලකන්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවට ඉතිරි වෙලා තියෙන්නේ තවත් තරග තුනක් විතරයි. ඒ කියන්නේ ඔවුන්ට මුලික වටයේ දී මුණ නොගැසුණු බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය කියන කණ්ඩායම් තුන.

ශ්‍රී ලංකාව ඉදිරියේ දී මේ කණ්ඩායම් තුන සමඟ තරග වදීවී. ඒ වගේ ම අනිත් කණ්ඩායම් 5ත් ඉදිරි දිනවල දී තමන්ට ඉතිරි වෙල් තියෙන කණ්ඩායම් මුණ ගැසේවී. සියලු ම තරග අවසන් වුනායින් පසුව මේ ලකුණු සටහනේ මුල් ස්ථාන දෙකේ වැජඹෙන කණ්ඩායම් අතර තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වේවී.

ඊටත් වඩා වැදගත් ම දේ තමයි ඒ මුල් ස්ථාන දෙකේ වැජඹෙන කණ්ඩායම් දෙක ඉන්දියාවේ දී පැවැත්වෙන 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගනීවී!

ඉතිහාසය

තරමක් වෙනස් විදිහේ තරගාවලි සැලැස්මක් වුනත්, මේ ඉතිහාසයේ පළවෙනි වතාවට හඳුන්වලා දුන්න දෙයක් නම් නෙවෙයි.

මීට පෙර පැවැත්වුණු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිවල දී වගේ ම, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි තුනක දීත් මේ ආකෘතිය යටතේ තරගාවලි පැවැත්වුනා.

ලෝක කුසලාන ඉතිහාසය පිරික්සමින් යද්දී අපට මුලින් ම මේ ආකෘතිය මුණ ගැහෙන්නේ 1999 වසරේ දී.

99 තරගාවලියේ ආකෘතිය මෙවර තරගාවලි ආකෘතිය සමඟ 100%ක් සමාන කරන්න පුළුවන්. ඒ මෙවර තරගාවලියේ විය හැකි දේ සහ වාසි/අවාසි පිළිබඳ උදාහරණයක් විදිහටත් 99 තරගාවලි ආකෘතිය හඳුන්වලා දෙන්න පුළුවන්.

ඒ වගේ ම 2003 සහ 2007 ලෝක කුසලාන තරගාවලි දෙකේ දීත් මේ හා සමාන ආකෘතියක් භාවිතා වෙලා තියෙනවා. නමුත් 2003 දී යම් කණ්ඩායමක් ඉදිරි වටයට පිවිසීමේ දී ඉදිරි වටයට යන අනෙක් කණ්ඩායම් සමඟ පැවැත්වුණු තරගවල සම්පූර්ණ ලකුණු සහ සුදුසුකම් නොලබපු කණ්ඩායම් සමඟ පැවැත්වුණු තරගවල දී ලබා ගත්ත ලකුණු වලින් හතරෙන් එකක් එකතු වෙලා තමයි සුපිරි කණ්ඩායම් 6 වටයේ ලකුණු සටහන හැදුණේ.

උදාහරණය: 

2003 ලෝක කුසලානයේ මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය සහ කැනඩාව කියන රටවල් පරාජය කරන්න සමත් වෙනවා.

නමුත් ඒ පරාජිත කණ්ඩායම් අතරින් සුපිරි කණ්ඩායම් හය වටයට සුදුසුකම් ලැබුවේ නවසීලන්තය පමණයි. ඒ නිසා ශ්‍රී ලංකාවට ලකුණු 4ක්* ලැබෙනවා. ඊට අමතරව ඉදිරි වටයට සුදුසුකම් නොලබපු කණ්ඩායම් තුනක් පරාජය කළ නිසා ඔවුන්ට තවත් ලකුණු 3ක් (එක් කණ්ඩායමකින් එක් ලකුණ බැගින්) ලැබෙනවා.

ඊට අමතරව දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වුණු තරගය සම වීමකින් අවසන් වුන නිසා ඒ තරගයේ දකුණු අප්‍රිකාවට හිමි වුනු ලකුණු 2න් හතරෙන් එකක් විදිහට තවත් ලකුණු 0.5ක් ලැබෙනවා.

මේ විදිහට ශ්‍රී ලංකාව ලකුණු 7.5ක් සමඟ තමයි 2003 දී සුපිරි කණ්ඩායම් 6 වටයට පිවිසෙන්නේ.

*2003 දී තරගයක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 4ක් හිමි වුනා.

ඒ වගේ ම 2007 එක්දින ලෝක කුසලානයේ දීත් මේ හා සමාන තරග ආකෘතියකට තරගාවලිය පැවැත්වුනත් එහි දෙවැනි වටය පැවැත්වුණේ සුපිරි කණ්ඩායම් 8ක තරග වටයක් විදිහට.

කෙසේ වෙතත් 2011 ලෝක කුසලානයේ පටන් මේ තරග ආකෘතිය නැවතත් වෙනස් වුනා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි වලින් මේ ආකෘතිය බැහැර වුනත් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා ICCය විසින් මේ ආකෘතිය තවමත් යොදා ගන්නවා.

2009, 2014 සහ 2018 කියන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි වෙනුවෙන් ඔවුන් විසින් මේ ආකෘතිය යොදා ගත්තා වගේ ම ඒ අතරින් 2018 සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මේ ආකෘතිය ගැන තේරුම් ගැනීම වෙනුවෙන් අපිට තවත් හොඳ උදාහරණයක් විදිහට භාවිතා කරන්න පුළුවන්.

99 සහ 2018 උදාහරණ

1999 වර්ෂයේ පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලියට කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 12ක් ක්‍රීඩා කරනවා.

මේ අතරින් A කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, එංගලන්තය සහ කෙන්යාව තරග වදිනවා. මේ අතරින් සුපිරි කණ්ඩායම් 6 සඳහා සුදුසුකම් ලබන්නේ පිළිවෙලින් දකුණු අප්‍රිකාව (8), ඉන්දියාව (6) සහ සිම්බාබ්වේ (6) කියන රටවල් ත්‍රිත්වය.

දකුණු අප්‍රිකාව මූලික වටයේ ලකුණු සටහනේ ඉදිරියෙන් ම සිටියත්, සුපිරි කණ්ඩායම් හය තරග වටයට පිවිසෙද්දී මේ කණ්ඩායම් තුන අතරින් ඉදිරියෙන් ම සිටියේ සිම්බාබ්වේ කණ්ඩායම. මොකද මූලික වටයේ දී සිම්බාබ්වේ කණ්ඩායම විසින් දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව පරාජය කරන්න සමත් වුනා. ඒ නිසා සුපිරි කණ්ඩායම් හය වෙත පිවිසෙද්දී සිම්බාබ්වේ කණ්ඩායම විසින් ලබා ගන්න පුළුවන් ඉහළතම ලකුණු සංඛ්‍යාව වුනු ලකුණු 4ක් සමඟ තමයි සුපිරි හය වටයට පිවිසුණේ.

(මෙහි PCF ලෙස දැක්වෙන්නේ සුපිරි හය තරග වටය වෙත රැගෙන ගිය ලකුණු ප්‍රමාණයයි.)

නමුත් දකුණු අප්‍රිකාව ඉදිරි වටය වෙත ගියේ ලකුණු 2ක් සමඟින්. ඉන්දියාවට එකඳු ලකුණක් වත් ඉතිරි වෙලා තිබුණේ නැහැ. කොහොම වෙතත් සිම්බාබ්වේ කණ්ඩායමට එතැනින් එහාට නම් යන්න අවස්ථාවක් හිමි වුනේ නැහැ.

2018 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය කියන්නේ මීට වඩා හාත්පසින් ම වෙනස් සිදුවීමක් වුන තරගාවලියක්.

2018 දී B කාණ්ඩය නියෝජනය කලේ සිම්බාබ්වේ, ස්කොට්ලන්තය, ඇෆ්ගනිස්තානය, නේපාලය සහ හොංකොං කියන රටවල් පහ.  මේ අතරින් ඉදිරි වට‍ය වෙත සුදුසුකම් ලබන්න සමත් වුනේ සිම්බාබ්වේ (7), ස්කොට්ලන්තය (7) සහ ඇෆ්ගනිස්තානය (2) කියන රටවල් ත්‍රිත්වය.

මේ අතරින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සුපිරි හය වටයට පිවිසෙන්නේ නේපාලය පමණක් පරාජය කරමින්. ඒවගේ ම ඇෆ්ගනිස්තානයට සුපිරි 6 වටය ආරම්භ වෙද්දී එකඳු ලකුණක් වත් ඉතිරි වෙලා තිබුනෙත් නැහැ. නමුත් සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය කියන රටවල් දෙකට ම ලකුණු 3 බැගින් ඉතිරි වෙලා තිබුණා.

කෙසේ වෙතත් සුපිරි කණ්ඩායම් හය තරග වටය නිමා වෙද්දී ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වෙන්න ඇෆ්ගනිස්තානය සමත් වුනේ එම තරග වටයේ තමන් ක්‍රීඩා කළ තරග තුන ම ජයග්‍රහණය කිරීමත් සමඟින්.

ඒ විතරකුත් නෙවෙයි 2018 තරගාවලියේ අවසන් මහා තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරමින් ශූරතාව දිනා ගන්න සමත් වුනෙත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම විසිනුයි.

ඇහැට පෙනෙන වාසි සහ අවාසි

පිරිසක් විසින් මේ තරග ආකෘතිය මූලික වටයේ ඉහළ දස්කම් පෙන්වන කණ්ඩායම්වලට වාසි සහගත එකක් බවට තර්ක කරනවා. නමුත් 99 ලෝක කුසලානය දිහා බලද්දී තේරුම් යන දෙය තමයි මූලික වටයේ ප්‍රතිඵල පමණක් ම තරගාවලියේ ඉදිරිය වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බව.

ඒ වගේ ම අනෙක් අතට 2018 තරගාවලිය විසින් ඔබට පහදලා දෙනවා මූලික වටය අසාර්ථක වූ පමණින්ම ඔබේ හීන තවමත් විනාශ වී නොමැති බව.

විශේෂයෙන්ම මෙවර තරගාවලියේ A කාණ්ඩයේ තෙවැනි ස්ථානය ලබා ගනිමින් සුපිරි හය වටයට සුදුසුකම් ලබන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හීන පවා තවමත් මිය ගොස් නොමැති බව ඔබ වටහා ගත යුතුයි.

ඒ වගේ ම මූලික වටයේ තරග තුන ම ජයග්‍රහණය කරලා දැනට ලකුණු සටහනේ ඉහළින් ම ඉන්න කණ්ඩායම ශ්‍රී ලංකාව වුනත් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරග තුනේ දී ශ්‍රී ලංකාවට වාසි සහගත ප්‍රතිඵල ලැබීම මානසික ව විතරක් නෙවෙයි හැම අතින් ම ශ්‍රී ලංකාවට ආශීර්වාදයක් වෙන බවත් ඔබ මතකයේ තබා ගත යුතු දෙයක්.

මෙතන දී අපට මුණ ගැහෙන්න නියමිත කණ්ඩායම් තුනත් ලෙහෙසි පහසු ඒවා නෙවෙයි.

නොහිතන නොපතන වෙලාවක අභියෝගයක් වෙන බලාපොරොත්තුවෙන් නෙදර්ලන්තය (ජුනි 30 වැනිදා) එක් පසෙකින් බලාගෙන ඉන්නවා.

ඒ අතරේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලි ඉතිහාසයේ වඩාත් ම සාර්ථක කණ්ඩායම (ශූරතා 3ක්) ලෙස සැලකුම් ලබන සිම්බාබ්වේ කණ්ඩායම (ජූලි 02) තවත් පසෙකින් බලාගෙන ඉන්නවා.

දෙවරක් එක්දින ලෝක ශූරයින් බවට පත් වුනු බටහිර ඉන්දීය කොදෙව් දේශය (ජූලි 07) තවත් පසෙකින් බොහෝම අසීරු ගමන් වෙනුවෙන් මඟ බලාගෙන ඉන්නවා.

ඒ නිසා ශ්‍රී ලංකාවට ඉතිරි වෙලා තියෙන්නේ දුෂ්කර ගමනක්!

විශේෂයෙන්ම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි කියන්නේ මෑත කාලීන ව ශ්‍රී ලාංකිකයින්ගේ කණට හුරු වුනු වචන කිහිපයක්. අතීතයට වඩා වර්තමානයේ දී අපට ඇහෙන වචන වල හැඩ වෙනස් වෙලා. ඒ වචන ඇහෙද්දී දැනෙන හැඟීමත් වෙනස් වෙලා.

අපි බලමු මේ දේවල් අනාගතයේ දී ආයෙත් වෙනස් වේවි ද කියලා. අපි ඒ වෙනුවෙන් බලාපොරොත්තු තියා ගෙන බලා ඉමු!

(ලකුණු සටහන් සහ දත්ත Wikipedia සහ ESPN cricinfo ඇසුරිනි.)

ඒ වගේ ම මේ තරගාවලිය පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කරන්න ThePapare.com සූදානම්, රැඳී ඉන්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<