ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගන්න ශ්‍රී ලංකාව කළ යුතු දේ?

World Cup Qualifiers 2023

2628

2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු කණ්ඩායම් දෙක අතරට සුදුසුකම් ලබා ගැනීමේ මේ වන විට ඉතිරි වී සිටින්නේ ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් හතරක් පමණයි.

ඊයේ (01) ස්කොට්ලන්තය වෙතින් අමිහිරි පරාජයක් උරුම කර ගැනීමට සිදු වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තු සහමුලින්ම විනාශ වී ගියා. ඊට අමතරව ඕමාන් කණ්ඩායමට ද මෙවර ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට ඉඩක් ඉතිරි වී නැහැ. 

ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට නම් මෙම තරගාවලියේ ලකුණු සටහනේ මුල් ස්ථාන දෙක අතරට පැමිණීම අවශ්‍ය වන අතර දැනට ඒ සඳහා සටනේ ඉතිරි වී සිටින්නේ ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තයයි.  

එම කණ්ඩායම් හතර මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඉදිරි තරගවල ප්‍රතිඵල කෙසේ විය යුතු ද යන්න පැහැදිලි කර ගනිමු. 

ශ්‍රී ලංකාව  

  • ක්‍රීඩා කළ තරග: 3, ලකුණු: 6 *NRR: 1.832  (*NRR – දල ලකුණු වේගය) 
  • සහභාගී වීමට නියමිත තරග: සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව්

මෙතෙක් තරගාවලියේ අපරාජිත ව ලකුණු සටහනේ ඉහළින් ම සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අද (02) සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගය ජයග්‍රහණය කළ හැකි නම් එළඹෙන ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම තහවුරු කර ගත හැකි වනවා. 

නමුත් අද තරගය සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පරාජය වුව ද, එළඹෙන 07 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගය ජයග්‍රහණය කිරීම මගින් ඔවුන්ට සුදුසුකම් ලබා ගැනීමේ අවශ්‍යතාව සපුරා ගැනීමට විශාල අවස්ථාවක් ඉතිරි වී තිබෙනවා. 

මෙම සටනේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ප්‍රතිවාදීන් වන්නේ සිම්බාබ්වේ සහ ස්කොට්ලන්ත කණ්ඩායමයි. ඒ පිළිබඳ උදාහරණයක් මගින් පැහැදිලි කර ගත හැකියි. 

උදාහරණය: 

  1. ශ්‍රී ලංකාවට එරෙහිව අද පැවැත්වෙන තරගය සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කිරීම.
  2. සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය අතර තරගයෙන් ස්කොට්ලන්තය ජයග්‍රහණය කිරීම.
  3. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීම.

මෙවන් අවස්ථාවක් උදා වුවහොත් මෙම කණ්ඩායම් තුනට ම ලකුණු 8 බැගින් හිමි වනු ඇති අතර, එවිට දල ලකුණු වේගය සැලකිල්ලට ගනිමින් ලකුණු සටහනේ මුල් ස්ථාන තෝරා ගනු ඇත. නමුත් මේ වන විට 1.832ක් වැනි ඉහළ දල ලකුණු වේගයක් සහිතව සිටින ශ්‍රී ලංකාවට එවැනි අවස්ථාවක විශාල වාසියක් අත්වීමට ඉඩ තිබෙනවා. 

මේ අතර සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් දෙක සමඟ තරග ද්විත්වය ම පරාජය වුව ද, ශ්‍රී ලංකාවට ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ යම් අවස්ථාවක් ඉතිරිව තිබෙනවා. නමුත් ඒ සඳහා ස්කොට්ලන්තය සිය ඉදිරි තරග දෙකෙන් අවම වශයෙන් එක් තරගයක් හෝ පරාජය විය යුතුයි.  

සිම්බාබ්වේ  

  • ක්‍රීඩා කළ තරග: 3, ලකුණු: 6 NRR: 0.752
  • සහභාගී වීමට නියමිත තරග: ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය

ශ්‍රී ලංකාවට පසුව ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට ඉහළම අවස්ථාව ඇති කණ්ඩායම ලෙස සිම්බාබ්වේ හඳුන්වා දිය හැකියි. 

මෙහි දී සිම්බාබ්වේ විසින් තමන්ට ක්‍රීඩා කිරීමට නියමිත තරග දෙක ම ජයග්‍රහණය කළහොත් කිසිදු සැකයකින් තොරව ඔවුන්ට ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.  

නමුත් ශ්‍රී ලංකාවට සාපේක්ෂව හොඳ දල ලකුණු වේගයක් නොමැති වීම ඔවුන්ට යම් ගැට‍ලුවක් නිර්මාණය කළ හැකි. ඉහත සඳහන් කළ උදාහරණය අනුව ඉදිරි තරගවල තීරණ ලැබුණහොත්, දල ලකුණු අනුව කණ්ඩායම්වල ස්ථාන තීරණය කිරීමේ දී සිම්බාබ්වේ කණ්ඩායමට යම් තර්ජනයක් එල්ල වීමට ඉඩ තිබෙනවා. 

නමුත් එළඹෙන 04 වැනිදා ස්කොට්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ඔවුන්ට කිසිදු ආපදාවකින් තොරව ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා. 

එමෙන්ම එම තරගය සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට ද ඉදිරියට යාමට විශාල අවස්ථාවක් ඉතිරි කරනවා. 

ස්කොට්ලන්තය  

  • ක්‍රීඩා කළ තරග: 3, ලකුණු: 4 NRR: 0.188
  • සහභාගී වීමට නියමිත තරග: සිම්බාබ්වේ, නෙදර්ලන්තය

අද තරගයේ දී ශ්‍රී ලංකාව විසින් සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කළහොත් සහ ස්කොට්ලන්තයට ඉතිරිව ඇති තරග දෙක ම ඔවුන් ජයග්‍රහණය කළහොත් ඉදිරි වටයට පිවිසීමට ස්කොට්ලන්තයට හැකියාව ලැබෙනවා. 

එසේ නොමැතිව ඉදිරි වටය පිළිබඳ අවම වශයෙන් හෝ බලාපොරොත්තු තබා ගැනීමට නම් ස්කොට්ලන්තය විසින් සිම්බාබ්වේ කණ්ඩායම අනිවාර්යයෙන් ම පරාජය කළ යුතු වනවා. 

නෙදර්ලන්තය  

  • ක්‍රීඩා කළ තරග: 3, ලකුණු: 2 NRR: -0.560
  • සහභාගී වීමට නියමිත තරග: ඕමානය, ස්කොට්ලන්තය

නෙදර්ලන්තය විසින් තමන්ට ඉතිරි වී ඇති තරග දෙක ම අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කළ යුතු අතර ඔවුන්ගේ දල ලකුණු වේගය ද ඉහළ දමා ගැනීම අත්‍යාවශ්‍ය නිසා එම ජයග්‍රහණ ඉතා ඉහළ ලකුණු පරතරවලින් ජයග්‍රහණය කළ යුතු වනවා.  

එමෙන්ම ශ්‍රී ලංකාව විසින් තමන්ට ඉතිරි වී ඇති තරග දෙක ම ජයග්‍රහණය කිරීම මඟින් නෙදර්ලන්තයට සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය සමඟ ලකුණු සටහනේ දෙවැනි ස්ථානය වෙනුවෙන් සටනක් නිර්මාණය කර ගැනීමට අවස්ථාවක් හිමි වනු ඇති. 

කෙසේ වෙතත් මෙම කණ්ඩායම් හතර අතරින් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවම අවස්ථාවක් ඇති කණ්ඩායම ලෙසයි නෙදර්ලන්තය හඳුන්වා දිය හැක්කේ.

මේ අනුව ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත ඉදිරි තරග ද්විත්වය ශ්‍රී ලංකාව පාර්ශවයෙන් වැදගත් ඒවා වන අතර, ඊට අමතරව 04 වැනිදා පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය අතර තරගය ද තරගාවලියේ ලකුණු සටහනේ විචලනය වෙනුවෙන් විශේෂ බලපෑමක් කරනු ඇති. 

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<