අපරාජිතයන් හමුවෙන මහා සටන

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය

1108
ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය

2023 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 වටයේ තරගාවලියට හෙට (02) එක්වෙන්නේ පෙර වටයන් හී අපරාජිතව ඉදිරියට පැමිණි ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම්.

මෙම තරගය ද සුපුරුදු ලෙසින් ම Bulawayo Queens Sports Club ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ වෙද්දී සැකසී ඇති ප්‍රසාද ලකුණු පුවරුව අනුව පළමු ස්ථානය ශ්‍රී ලංකාවටත්, දෙවැනි ස්ථානය සිම්බාබ්වේ කණ්ඩායමටත් හිමි වී තිබෙනවා. කණ්ඩායම් 2 ම එම ස්ථාන තහවුරු කරගෙන සිටින්නේ තවත් තරග 2ක් බැගින් ඉතිරිව තිබිය දී. එබැවින් ප්‍රසාද ලකුණු පුවරුවේ තම ස්ථාන තව දුරටත් තහවුරු කර ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය දෙපිලට ම එක සේ වැදගත් වෙනවා.

ශ්‍රී ලංකාවේ සූදානම

මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ප්‍රමුඛ අරමුණ විය යුත්තේ නෙදර්ලන්ත කණ්ඩායම ඉදිරියේ වූ අතපසු වීම් නැවත වතාවක් සිදු නොවීමට වග බලා ගැනීමයි.

පසුපෙළ පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ දක්ෂතා හේතුවෙන් නෙදර්ලන්ත තරගය ජයග්‍රහණය කළ ද, එවැනි ජයග්‍රහණයක් කරා යෑමකට වඩා, වඩාත් සාධනීය වන්නේ ඊට පෙර පැවති තරග සේ වඩාත් විශ්වසනීය සටනකට අවතීර්ණ වී අවසන් කිරීමයි.

එම තරගයේ දී ලබා ගත් ලකුණු 213 යනු මෙම තරගාවලියේ දී හෝ වෙනත් ඕනෑම තරගයක දී වුව සටනකට කිසිසේත් ඔබින ලකුණු සංඛ්‍යාවක් නොවේ. පිතිකරුවන්ගේ දුර්වලතා හේතුවෙන් ගොඩනැගුණ එම අපොහොසත් ඉනිම නැවත වතාවක් කිසිවෙකුත් බලාපොරොත්තු වන්නේ නැහැ.

එම ඉනිමේ දී වූ දුර්වලතා නැවත නැවතත් අධ්‍යයනය කිරීමකින් අනතුරුව, ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතු සැලසුමක් සමඟින් මෙම තරගයට අවතීර්ණ වීම වඩාත් සුදුසු යැයි සිතේ. එසේ වී ඇත්තේ මේ අභියෝගාත්මක ගමනට ඇත්තේ තවත් කෙටි කාලයක් බැවිනුයි.

කෙසේ වෙතත් නිමා වූ තරගයේ පෙර පෙළ පිතිකරුවන්ගේ අවාසනාවන්ත තත්ත්වය හමුවේ වඩාත් සාධනීය ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ට සෙසු ක්‍රීඩකයන්ගේ ප්‍රණාමය හිමි විය යුතුයි. එම ඉනිම නොවන්නට ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ගමන් මඟ මීට හාත් පසින් ම වෙනස් වීමට ඉඩ තිබුණා.

එමෙන් ම ඊට පසුව තරගයේ යෂ්ටිය අත් අතරට ගත් පන්දු යවන්නෝ ද ඇගයීමට ලක් විය යුතුමයි.

ධනංජය එම තරගයේ දී රැස් කරන්නේ තම එක්දින ජාත්‍යන්තර පිටියේ එතෙක් මෙතෙක් රැස් කරන ලද හොඳම ඉනිමයි. ඊට පෙර ඔහුගේ තරග ලැයිස්තුවේ එම ස්ථානය හිමි ව තිබුණේ එංගලන්තයට එරෙහිව 2021 වසරේ දී The Oval ක්‍රීඩාංගණයේ දී පන්දු 91කට මුහුණ දෙමින් රැස් කරන ලද ලකුණු 91ක ඉනිමයි.

ඉන් නොනැවතුන ධනංජය පන්දු යැවීමේ දී ප්‍රතිවාදීන් පාලනය කරමින් දැක්වූ දක්ෂතාවය ද අගය කළ යුතුයි. ඒ හේතුවෙන් ම ඔහුට මෙම තීරණාත්මක තරගයේ, තරගයේ වීරයා සම්මානය ද හිමි කර ගනිමින් එය අපූරු සමරුවක් ද කර ගැනීමට හැකි වුනා.

පන්දු යවන්නන් අතුරින් මහීෂ් තීක්ෂණ දැක්වූ දක්ෂතා ද විශේෂයෙන් ම අගය කළ යුතුයි. එය අවශ්‍ය ම මොහොතක දැක්වූ දක්ෂතාවක් බැවින්, එහි වටිනාකම ඉහළයි. එමෙන් ම පිතිකරුවෙක් ලෙසින් ද ඔහු දැක්වූ දක්ෂතා, පසු පෙළ සුරක්ෂිත බැව් අඟවන සීනුවක් වැනියි.

ඊට තව දුරටත් සාධාරණයක් ඉටු කරන්නා වී සිටින්නේ වනිඳු හසරංගයි. එබැවින් ඔහු කෙරෙහි වූ විශ්වාසය තව දුරටත් කණ්ඩායමේ නොනැසී තිබෙනවා.

නමුත් වඩාත් සෝචනීය වන්නේ තව දුරටත් නායක දසුන් ශානකගෙන් තම කණ්ඩායමට බලාපොරොත්තු වන මෙහෙවරක් සිදු කිරීමට නොහැකි වීමයි. එමෙන් ම පෙර තරගයේ දී දුර්වල වූ කුසල් මෙන්ඩිස් සේ ම චරිත් අසලංක ද නැවත වතාවක් තමන්ගෙන් කණ්ඩායමට ඉටු විය යුතු සේවය වටහා ගත යුතුයි.

එබැවින් පෙර තරගයේ දී වූ නොසිතූ කඩා වැටීමක් මෙම තරගයේ දී සිදු නොවිය යුතු සේ ම, ඒ වෙනුවෙන් පෙර සූදානමක් සැලසුම් කිරීම ද වඩාත් ගෝචර බැව් නැවත සටහන් කරමු.

ඒ අතරට මෙම තරගයේ දී තවත් පිතිකරුවෙක් කණ්ඩායමට එක් කර ගැනීම වඩාත් වැදගත් විය හැකි.

ඒ අනුව බැලීමේ දී දැනට සිම්බාබ්වේ රටට ගොස් සිටින ක්‍රීඩකයන් අතුරින් වඩාත් සුදුසු වන්නේ චාමික කරුණාරත්නයි. ඒ අනුව කාරණා කටයුතු සිදු වන්නේ නම්, බොහෝ විට හෙට තරගයේ දී ලහිරු කුමාර වෙනුවට චාමික කරුණාරත්නට අවස්ථාව හිමි වෙනු ඇතැයි සිතිය හැකි.

සිම්බාබ්වේ හා සමඟ තරගයේ දී ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර / චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මදුශංක.

සිම්බාබ්වේ කණ්ඩායමේ සූදානම

A කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ සිම්බාබ්වේ කණ්ඩායම එහි ප්‍රසාද ලකුණු පුවරුවේ පළමුවැනියා වෙන්නේ අපරාජිතව සිටිමිනුයි. ඒ අනුව ඔවුන් මෙම වටය සඳහා එක් වෙන්නේ ලකුණු ලබා ගැනීමේ දළ වේගය අනුව ලකුණු 0.982ක් ලබා ගනිමින්.

සිම්බාබ්වේ කණ්ඩායම මෙම තරගාවලියේ මෙතෙක් තරග 5ක ලබා සිටින මුළු ලකුණු සංඛ්‍යාව 1618ක්. ඒ අතර ලකුණු 400 ඉක්ම වූ ඉනිමක් සහ ලකුණු 300 ඉක්ම වූ ඉනිම් 2ක් ද තිබෙනවා.

එම දත්ත අපිට සැපයෙන්නේ ඔවුන් ලෙහෙසි කණ්ඩායමක් බැව් අඟවන්නයි. අනෙක් අතට මේ ඔවුන්ගේ බිමේ දී රැස් කරන ලද ලකුණු සංඛ්‍යාවන්. එබැවින් ඔවුන් සමඟ පැවැත්වෙන මෙම තරගය කෙසේවත් ලෙහෙසියෙන් තකන්නට බැහැ.

අනිත් අතින් බලන කළ ඔවුන් මේ දක්ෂතාවන් දැක්වීමේ දී අහිමි කරගෙන ඇත්තේ කඩුලු 29ක් පමණයි. එබැවින් ඒ කෙරෙහි ද ශ්‍රී ලංකා කණ්ඩායමේ අවධානය යොමු විය යුතුයි.

ඉන් අනතුරුව මෙම වටයේ දී පැවති පළමු තරගය වූ ඕමානය හා සමඟ තරගයේ දී ද ඔවුන් පහසු ජයග්‍රහණයක් ලබා ගන්නවා. මේ සෑම තරගයක දී ම වඩාත් දක්ෂතා දැක්වූ සත්කාරක ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව හා සමඟ තරගයේ දී ද සටනට පිවිසෙද්දී සියලු සැලසුම් සහ සම්පත් තමන්ගේ වාසියට යොදා ගනිමින් තරගයට අවතීර්ණ වනු නොඅනුමානයි.

එබැවින් මෙතෙක් සාර්ථක වූ කණ්ඩායම ම මෙම තරගයේ දී සිම්බාබ්වේ වෙනුවෙන් තරගයට පිවිසෙනු ඇතැයි සිතිය හැකියි.

ශ්‍රී ලංකාව හා සමඟ තරගයේ දී ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කෙරෙන සිම්බාබ්වේ කණ්ඩායම: Craig Ervine (නායක), Joylord Gumbie (කඩුලු රකින්නා), Sean Williams, Wessly Madhevere, Sikandar Raza, Ryan Burl, Luke Jongwe, Wellington Masakadza, Richard Ngarava, Tendai Chatara, Blessing Muzarabani

වඩාත් අවධානය යොමු කළ යුතු සිම්බාබ්වේ ක්‍රීඩකයෝ

Craig Ervine

37 හැවිරිදි වියේ පසුවෙන සිම්බාබ්වේ නායක Craig Ervine මේ දක්වා එක්දින තරග 18කට නායකත්වය ලබා දෙමින් ඉන් තරග 9ක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් ව සිටිනවා. තරග 7ක් පරාජය වී ඇති අතර අනෙක් තරගය 2 නිමා වී ඇත්තේ නොවිසඳුණ තරග ලෙසයි.

මැදපෙළ පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසෙන ඔහු මේ දක්වා එක්දින තරග 114කට සහභාගී වෙමින් ශතක 4ක සහ අර්ධ ශතක 19ක් සමඟින් ලකුණු 3278ක් ලබා ගෙන තිබෙනවා.

පැවැත්වෙමින් තිබෙන මෙම තරගාවලියේ දී නේපාලයට එරෙහිව නොදැවී රැස් කරන ලද ශතකයත් සමඟින් ඉනිම් 4ක දී ලකුණු 274ක් රැස් කර ගන්නවා. එහි සාමාන්‍ය 81.0ක් ලෙසිනුයි දැක්වෙන්නේ.

Sean Williams

36 හැවිරිදි වියේ පසුවෙන් Sean Williams සිම්බාබ්වේ කණ්ඩායමේ සිටින වඩාත් ප්‍රචණ්ඩකාරී පිතිකරු ලෙසින් හැඳින්විය හැකියි. ක්‍රියාත්මක මෙම තරගාවලියේ දී ඔහු, මේ දක්වා පැවති තරග 5 දී නේපාලයට, ඇමරිකාවට සහ ඕමානයට එරෙහිව ශතක වාර්තා කරමින් ඉනිම් 5ක දී ලකුණු 532ක් ලබා ගැනීමට සමත් වෙනවා. එය මෙවර තරගාවලියේ මේ දක්වා පිතිකරුවෙක් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් ව තිබෙනවා.

එමෙන් ම ඇමරිකාවට එරෙහිව පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහර 5ක් සමඟින් ලබා ගත් ලකුණු 174 ද මෙවර තරගාවලියේ දී පිතිකරුවෙක් විසින් රැස් කරන ලද ඉහළ ම ඉනිමක ලකුණු සංඛ්‍යාව ද වෙනවා. ඔහුගේ ඉනිම් 5ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය දැක්වෙන්නේ 133.0ක් ලෙසයි.

මේ අයුරින් දක්ෂතා දැක්වූ මේ ක්‍රීඩකයාගේ එක්දින ජාත්‍යන්තර තරගවල දක්ෂතාව වන්නේ තරග 154කට සහභාගී වෙමින් ශතක 8ක් සහ අර්ධ ශතක 23ක් සමඟින් ලබා ගත් ලකුණු 4918ක්.

පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ඔහු එක්දින තරගවල ලබා ඇති කඩුලු සංඛ්‍යාව 80ක්.

Sikandar Raza

කාලයක් තිස්සේ සිම්බාබ්වේ කණ්ඩායමේ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතර නම තබා ගෙන සිටින Sikandar Raza එක්දින ක්‍රිකට් තරගවල ලකුණු 4000ක් ඉක්ම වූ ක්‍රීඩකයෙක්. පැවැත්වෙන මෙම තරගාවලියේ දී නෙදර්ලන්තයට එරෙහිව ශතකයක් සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව රැස් කරන ලද අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 260ක් ලබා ගනිමින් ඉතා ඉහළ මට්ටමේ දක්ෂතා දක්වමින් සිටිනවා.

පන්දු යවන්නෙක් ලෙසින් ද තම දක්ෂතා සිම්බාබ්වේ කණ්ඩායමට එක් කළ Raza කඩුලු 9ක් ලබා ගනිමින් සිම්බාබ්වේ කණ්ඩායමේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් අතුරින් 2 වැනි ස්ථානයට පත්ව සිටිනවා.

Richard Ngarava

ලෝක කුසලානයට එක් වීමේ අරමුණ කරා යන ගමනේ දී තරග 5ක දී කඩුලු 12ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා ඇති Richard Ngarava තවමත් 25 වැනි වියේ පසුවෙන වමතින් මද වේගපන්දු යවන්නායි.

ක්‍රියාත්මක මෙම තරගාවලියේ සෑම තරගයක දී කඩුලු අතරට පිවිසීමට සමත් වූ ඔහු මෙම තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ඇති පන්දු යවන්නායි.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 වටයේ තරගාවලියේ සියලු තොරතුරු සැනෙකින් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<