යොවුන් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ කණ්ඩායම් ස්ථිරයි

ICC Men's U19 Cricket World Cup 2024

120

වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග ක්‍රීඩා කරන කණ්ඩායම් මේ වන විට ස්ථිර වී හමාරයි.

පසුගිය සෙනසුරාදා (03) වන විට ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව යන කණ්ඩායම් අවසන් පූර්ව වටයේ සිය ස්ථාන තහවුරු කර ගැනීමට සමත් වී සිටියත් බංග්ලාදේශය සහ පාකිස්තානය අතුරින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය වී තිබුණේ නැහැ.

එදින පාකිස්තානය සහ බංග්ලාදේශය එකිනෙකා ගැටෙමින් අවසන් පූර්ව වටයේ ස්ථානය වෙනුවෙන් සටන් වැදුණු අතර, එය අතිශය තියුණු මුහුණුවරක් ගත් තරගයක් වුනා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන පිතිකරුවන් විසින් සියල්ලන් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 155ක් පමණයි. එය බංග්ලාදේශ පාර්ශවයට ඉතා පහසු හඹා යාමක් බව පෙනෙන්නට තිබුණත් පාකිස්තාන පන්දු යවන්නන් විසින් තරගය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කළා.

මෙහි දී වඩාත් කැපී පෙනෙන පන්දු යවන්නා වූ Ubaid Shah ලකුණු 44කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා. ලෝක කුසලානය ආරම්භයේ සිටම Ubaid හට විශේෂ අවධානයක් යොමු වෙමින් තිබුණේ ඔහු වත්මන් පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල වේගපන්දු යවන්නකු වන Naseem Shahගේ බාල සහෝදරයා වීම හේතුවෙන්. තමන් ද තම සහෝදරයා මෙන්ම පාකිස්තාන වේගපන්දුව වෙනුවෙන් අනාගත බලාපොරොත්තු තබා ගත හැකි අයකු බව පෙන්වීමට Ubaid මෙහි දී සමත් වුනා.

මෙම තරගයේ දී බංග්ලාදේශය විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 150ක් පමණයි. ඒ අනුව පාකිස්තානය විසින් ලකුණු 5ක තියුණු ජයක් ලබමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

මේ අනුව තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හෙට (06) ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතයි. එමෙන්ම තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර එළඹෙන බ්‍රහස්පතින්දා (08) පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. මෙම තරග ද්විත්වය සඳහා ම අතිරේක දිනය බැගින් ද වෙන් කර තිබෙනවා.

නිමා වූ 2023 වසරේ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලද කණ්ඩායම් තුනක් ම මෙවර යෞවනයින්ගේ ලෝක කුසලාන අවසන් පූර්ව වටයට ද සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත් මෙවර ලෝක කුසලානයේ දී නවසීලන්ත කණ්ඩායම නම් එතරම් සාර්ථක ලෙස ක්‍රීඩා කිරීමට සමත් වුනේ නැහැ. ඔවුන් මෙවර තරගාවලිය අවසන් කළේ අයර්ලන්තය හමුවේ ද තරගයක් පරාජය වෙමිනුයි.

මේ අතර ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ද මෙවර ලෝක කුසලානය තරමක අමිහිරි මතකයක් ගෙන ආ එකක් වුනා. මෙවර තරගාවලියේ දී තරග දෙකක් පමණක් ජයග්‍රහණය කිරීමට සමත් වූ ශ්‍රී ලංකාවට සුපිරි හය වටයේ දී හිමි වුනේ ලකුණු සටහනේ පස් වැනි ස්ථානයයි.

මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගය එළඹෙන ඉරිදා (11) පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

ESPN Cricinfo සහ Wisden ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<