ශ්‍රී ලංකා යෞවනයින්ගේ ලෝක කුසලාන බලාපොරොත්තු නිමයි

ICC Men's U19 Cricket World Cup 2024

122
Sri lanka vs south africa u19

වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තමන් සහභාගී වූ අවසන් තරගයෙන් ද දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීමට යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට අද (02) සිදු වුනා. 

තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් මෙම තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට අනිවාර්‍ය වූ නමුත් ඒ සඳහා අවශ්‍ය තරම් වෙහෙසක් දැරීමට ඔවුන් සමත් වුනේ නැහැ. 

තතරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා සතු වූ අතර, ඔහු විසින් පළමුව පන්දුවට පහර දීමට අප්‍රිකාවට ආරාධනා කළා. එම ආරාධනය කෙතරම් සාර්ථක එකක් ද යන්නට සැකයක් ඉතිරි කරමින් දකුණු අප්‍රිකානුවන් විසින් සිය ඉනිමට හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වූ අතර, වරෙක ඔවුන් පන්දුවාර 21ක් තුළ ලකුණු 115ක් ලබා ගනිමින් ඉතා හොඳ ස්ථාවර තත්වයක රැඳී සිටියා. කෙසේ වෙතත් මෙතෙක් තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකාවේ ධනාත්මක ලකුණක් වූ දඟපන්දුව තරගයට පිවිසීමත් සමඟින් දකුණු අප්‍රිකානු ඉනිම ඉතා ඉක්මනින් බිඳ වැටුණා. 

අප්‍රිකානුවන්ගේ 6 වැනි කඩුල්ලත් ලකුණු 133ක් වන විට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සමත් වූ අතර, එතැන් පටන් අප්‍රිකානුවන් තවත් ආරක්ෂාකාරී වෙමින් සිය ඉනිම ගොඩ නැංවීමට පටන් ගත්තා. 

එහි අවසන් ප්‍රතිඵල ලෙස ඔවුන් තවත් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 99ක් සිය ලකුණු පුවරුවට එක් කළේ ඉනිමේ සමස්ත ලකුණු තත්වය 232ක් කරා ඉහළ දමමිනුයි. 

මෙහි දී අප්‍රිකාව වෙනුවෙන් Lhuan Dre Pretorius ලකුණු 71ක් සහ Riley Norton ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වුනා. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ සුපුන් වඩුගේ, විශ්ව ලහිරු සහ මල්ෂ තරුපති අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා. 

දකුණු අප්‍රිකාවෙන් ලද ලකුණු 233ක ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසුණු ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය පෙර තරගවල දී මෙන්ම නැවතත් අසාර්ථක වුනා. පෙර තරගවල දී නම් දිනුර කළුපහන ප්‍රමුඛ ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් කණ්ඩායමේ ජාමය බේරීමට සමත් වූ නමුත් අද දිනයේ ඔවුන් ද එතරම් සාර්ථක ලෙස පිතිකරණයේ නියැලුණේ නැහැ. මේ අනුව පන්දුවාර 23 පන්දු දෙකක් තුළ ශ්‍රී ලංකා පිතිකරුවන් සියල්ලෝ ම ලකුණු 113කට දැවී ගිය අතර, දකුණු අප්‍රිකාවට ලකුණු 119ක දැවැන්ත ජයක් උරුම වුනා. ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ ශරුජන් ශන්මුගනාදන් ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වුනා.  

මෙහි දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ Kwena Maphaka ලකුණු 26කට ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වූ අතර, මේ වන විට තරගාවලියේ ඉහළම කඩුලු ලාහියා වන්නේ ද ඔහුයි. එමෙන්ම මෙම තරගයේ වීරයා සම්මානය ද Maphaka හට හිමි වුනා. 

  • දකුණු අප්‍රිකාව – 232/8 (50) Lhuan Dre Pretorius 71, Riley Norton 41, සුපුන් වඩුගේ 2/28, විශ්ව ලහිරු 2/44 
  • ශ්‍රී ලංකාව – 113/10 (23.2) ශරුජන් ශන්මුගනාදන් 29, මල්ෂ තරුපති 21, Kwena Maphaka 6/21, Riley Norton 4/28 

මෙය ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ නොකඩවා ලද තෙවන පරාජය වූ අතර, මෙම පරාජයත් සමඟින් ශ්‍රී ලංකාව සුපිරි හය තරග වටයේ ලකුණු සටහනේ සිව් වැනි ස්ථානය දක්වා පහතට ඇද වැටුණා. එමෙන්ම දකුණු අප්‍රිකාව විසින් ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වූ අතර, මෙම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ඇති හැකියාව ද තවත් ඉහළ දමා ගත්තා. 

තරගාවලියේ සුපිරි හය වටයේ තවත් තරග ත්‍රිත්වයක් හෙට (03) දිනයේ පැවැත්වීමට නියමිත අතර, එම තරගවලින් අනතුරුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් ස්ථිර ලෙස ම තීරණය වනු ඇති. කෙසේ වෙතත් ශ්‍රී ලංකා යෞවනයින්ගේ ලෝක කුසලාන ගමන මෙතෙකින් නිමයි. 

ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරගවල සියලු උණුසුම් තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<