ශ්‍රී ලංකා යෞවනියන් තුන්කොන් ශූරියන් බවට පත් වෙයි

Women’s U19 Tri-Nation T20 Series 2024

365

බංග්ලාදේශයේ දී පැවැත්වුණු වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම විසින් අද (02) සමත් වුනා.

බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ පාකිස්තානයේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම තරගාවලිය පසුගිය ජනවාරි මස 24 වැනි දා බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ආරම්භ වුනා. කෙසේ වෙතත් තරගාවලියට එතරම් හොඳ ආරම්භයක් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් සමත් වුනේ නැහැ.

තරගාවලියේ පළමු තරගයෙන් ඔවුන් බංග්ලාදේශය හමුවේ කඩුලු 5ක පරාජයක් ලැබූ අතර, පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත ව තිබූ දෙවන තරගය අයහපත් කාලගුණය නිසා අත් හැර දැමුණා. එමෙන්ම මීළඟට බංග්ලාදේශය සමඟ පැවැත්වුණු තරගයෙන් ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එක් ලකුණක තියුණු පරාජයක් උරුම වුනා.

කෙසේ වෙතත් පාකිස්තානය සමඟ පැවැත්වුණු සිව් වැනි තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් සමත් වූ අතර, එය තරගාවලියේ අවසන් මහා තරගය නියෝජනය කිරීමට ද ශ්‍රී ලංකාවට අවස්ථාව උදා කර දුන්නා.

ඒ අනුවයි එතෙක් තරගාවලියේ අපරාජිත බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අද දිනයේ Sheik Kamal ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු  තරගාවලියේ ශූරතාව වෙනුවෙන් මුණ ගැසුණේ.

එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 148ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් නෙත්මි සේනාරත්න ලකුණු 66කින් දායක වුනා. පන්දු 57ක් තුළ වාර්තා වූ මෙම ඉනිමට හතරේ පහර 8ක් අන්තර්ගත වූ අතර, ඊට අමතර දෙව්මි විහංගාගේ පිත්තෙන් ලකුණු 49ක් වාර්තා වුනා. නෙත්මිගේ ඉනිම වෙනුවෙන් හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් අන්තර්ගත වුනා.

ශ්‍රී ලංකාවෙන් ලද ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට මෙතෙක් තරගාවලියේ දැක්වූ දක්ෂතා නැවතත් ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකාවෙන් අවස්ථාවක් උදා වුනේ නැහැ.

නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 දැවී ගිය බංග්ලාදේශය ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 112ක් පමණයි. මෙහි දී නැවත වරක් පන්දු යැවීමෙන් ද දස්කම් දැක්වූ දෙව්මි විහංගා විසින් ලකුණු 13කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ අතර, ඊට අමතරව යසන්ති නිමන්තිකා සහ රිස්මි සන්ජනා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

  • ශ්‍රී ලංකාව – 148/3 (20) නෙත්මි සේනාරත්න 66*, දෙව්මි විහංගා 49
  • බංග්ලාදේශය – 112/8 (20) Rabeya Khan 31, දෙව්මි විහංගා 3/13, යසන්ති නිමන්තිකා 2/16, රිස්මි සන්ජනා 2/23

ශ්‍රී ලංකාවට ලකුණු 36ක ජයග්‍රහණයක් හිමි වුනා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ නැවුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<