ශ්‍රී ලංකා යෞවනයින් ලෝක කුසලානයේ දෙවැනි ජයත් ලබයි!

ICC Men's U19 Cricket World Cup 2024

210
ICC Men's U19 Cricket World Cup 2024

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තම දෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යෞවනයින් විසින් අද (24) සමත් වුනා.

නැමීබියාව සමඟ පැවැත්වුණු මෙම තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ට බලාපොරොත්තු වූ තරම් දස්කම් දැක්වීමට හැකියාවක් නොලැබුණත්, නැවතත් ක්‍රියාත්මක වූ පන්දු යවන්නන් විසින් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව වෙත ලඟා කිරීමට සමත් වුනා.

මෙම තරගයේ කාසියේ වාසිය නැමීබියා නායකයා සතු වූ අතර ඔහු විසින් ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළා.

මෙම තරගය ද ශ්‍රී ලංකාව, නැමීබියාව, සිම්බාබ්වේ සහ ඕස්ට්‍රේලියාව තරග වදින C කාණ්ඩයේ තරග බහුතරයක් පැවැත්වීමට නියමිත Kimberley හිදි පැවැත්වුණු අතර, මීට පෙර මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වුණු තරග ද්විත්වය ම පිතිකරුවන්ට එතරම් ම හිතකර අන්දමේ ඒවා වුනේ නැහැ.

එම තත්වය මෙම තරගයේ දී ද දැක ගැනීමට හැකියාව ලැබුණු අතර ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ පටන් ම පිතුකරුවන්ට හොඳ සබඳතා වෙත යාමට අවස්ථාවක් උදා වුනේ නැහැ. ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 5ක් ලකුණු 71ක් වන විට දැවී ගිය අතර නොදැවී කඩුල්ලේ රැඳී සිටි සුපුන් වඩුගේ සමඟ අංක හත සහ අට පිතිකරුවන් ලෙස පිටියේ එක් වූ ශරුජන් ශන්මුගනාදන් සහ මල්ෂ තරුපති යුගලය මෙම ලකුණු තත්වය ලකුණු 122ක් දක්වා ඉහළ දැමීමට සමත් වුනා.

කෙසේ වෙතත් ශරුජන් සහ මල්ෂගෙන් පසු පිටියට පිවිසි ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන්ට සුපුන් හට එතරම් සහයක් ලබා දීමට හැකියාවක් ලැබුණේ නැහැ.

ඒ අනුව පන්දුවාර 37 පන්දු 5ක් තුළ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 133කට සීමා කිරීමට නැමීබියානු පන්දු යවන්නන් විසින් සමත් වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසි සුපුන් වඩුගේ පන්දු 79කින් නොදැවුණු ලකුණු 56ක් වාර්තා කරමින් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා බවට පත් වීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී නැමීබියාව වෙනුවෙන් Zacheo Van Vuuren කඩුලු 4ක් සහ Johannes de Villiers කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

කෙසේ වෙතත් මෙම ලකුණු 133 පවා ජයග්‍රාහී ඉලක්කයක් බව විශ්වාස කරමින් පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් විසින් නැමීබියා පිතිකරණ බළඇණිය සම්පූර්ණයෙන්ම අසරණ කිරීමට සමත් වුනා.

ගරුක සංකේත් විසින් නැමීබියා ඉනිමේ පළමු කඩුල්ල බිඳ හෙළීමෙන් පසු ඔහුගේ සහයට එක් වූ දිනුර කළුපහන, විශ්ව ලහිරු සහ රුවිශාන් පෙරේරා විසින් නැමීබියානු ඉනිමේ කඩුලු එකින් එක දඩයම් කිරීමට පටන් ගත්තා.

ඒ අනුව නැමීබියා ඉනිමේ 20 වැනි පන්දුවාරය වන විට ඔවුන්ගේ කඩුලු 8ක් ලකුණු 25ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකාව විසින් සමත් වූ අතර අවසානයේ නැමීබියා සියලු පිතිකරුවන් සියලු දෙනා ලකුණු 56කට දැවී ගියේ ශ්‍රී ලංකාවට ලකුණු 77ක ජයග්‍රහණයක් උරුම කර දෙමිනුයි.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව සහ රුවිශාන් කඩුලු තුන බැගින් දවා ගත් අතර, දිනුර කළුපහන පන්දුවාර 8ක් ක්‍රියාත්මක කරමින් නිලකුණු පන්දුවාර 4ක් සමඟ ලකුණු 8කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

  • ශ්‍රී ලංකාව– 133/10 (37.5) සුපුන් වඩුගේ 56, රුසඳ ගමගේ 17, Zacheo Van Vuuren 4/23, Johannes de Villiers 3/19
  • නැමීබියාව– 56/10 (27) Peter-Daniel Blignaut 18, රුවිශාන් පෙරේරා 3/3, විශ්ව ලහිරු 3/19, දිනුර කළුපහන 2/8

තරගයේ වීරයා ලෙස විශිෂ්ට අර්ධ ශතකයක් ලබා ගත් සුපුන් වඩුගේ සම්මාන දිනා ගත්තා.

මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව නැවතත් C කාණ්ඩයේ ලකුණු සටහනේ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා. එමෙන්ම මෙම ජයග්‍රහණය නිසා ශ්‍රී ලංකාවට බොහෝ දුරට තරගාවලියේ සුපිරි හය වටය සඳහා ද දොර විවර කර ගැනීමේ අවස්ථාව උදා වී ඇති අතර (සම්පූර්ණයෙන්ම පාහේ සුදුසුකම් ලබා අවසන්), තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිත අවසන් තරගය මෙම මස 30 වැනි දා ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වෙනු ඇති.

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<