රන් කුසලානයේ හිමිකාරීත්වය කටාන ඒකාබද්ධට සහ කොස්වාඩිය විජයට

945
ඩයලොග් රන් කුසලානයේ කාන්තා ශුරතාවය දිනා ගත් කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයේ පුහුණුකරුවන් සහ ක්‍රීඩිකාවන්ඩයලොග් රන් කුසලානයේ පිරිමි ශුරතාවය දිනා ගත් කටාන එක්සත් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු සහ ක්‍රීඩකයින්

ඩයලොග් ජනාධිපති රන් කුසලාන තරඟාවලියේ පිරිමි සහ කාන්තා විවෘත අංශයේ අවසන් මහා තරඟ අද (7) මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහිදී විවෘත පිරිමි අංශයේ ශූරතාවය දිනාගත්තේ කටාන එක්සත් කණ්ඩායම විසින් වන අතර පිට පිටම හත්වන වතාවටත් කාන්තා ශූරියන් බවට පත්වන්නට කොස්වාඩිය විජය කණ්ඩායම සමත් විය.

සීදූව දවිසමර සහ කැෂුවල් ලයින් 22න් පහල ශූරතාවයන් දිනා ගනී

ඩයලොග් ආයතනය සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරඟාවලියේ අවසන් මහා තරඟ.

විවෘත කාන්තා 

කාන්තා අංශයෙන් අවසන් තරඟයට තේරී පත්ව සිටි කැෂුවල් ලයින් සහ කොස්වාඩිය විජය කණ්ඩායම් අවසන් පූර්ව වටයේදී පිලිවෙලින් කපිල ක්‍රීඩා සමාජයත්, රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායමත් පරාජය කරන ලදී. පළමු වටයේ මුල් භාගයේදී ඉදිරියෙන් සිටි කොස්වාඩිය කණ්ඩායම හඹා යමින් හොඳ තරඟයක් ලබා දෙන්නට කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් පසුබට නොවීය. නමුත් ලකුණු හතරක පරතරයක් තබා ගැනීමට (19-14) කොස්වාඩිය කණ්ඩායම සමත්විය. කොස්වාඩිය කණ්ඩායමේ දිනේෂා ප්‍රසාදිනීගෙන් වේගවත් පහර හමුවේ පරතරය තවත් වැඩිකරගත් කොස්වාඩිය කණ්ඩායම 25-19ක් ලෙස පළමු වටය ජයගත්තේය.

කැෂුවල් ලයින් සහ කොස්වාඩිය විජය, කාන්තා අවසන් සටනට

හෙට (07) පැවැත්වීමට නියමිත ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරඟාවලියේ විවෘත අංශයේ කාන්තා අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබා ඇත්තේ කැෂුවල් ලයින් සහ කොස්වාඩිය විජය යන ක්‍රීඩා සමාජයන් ද්විත්වයයි.

එක දිගට ලබාගත් ලකුණු 4කින් කැෂුවල් ලයින් කණ්ඩායම දෙවන වටය ආරම්භ කල අතර එම පරතරය 7ක් දක්වා වැඩිකරගන්නට හිරුනි චාපාගේ ප්‍රහාරයන් කැෂුවල් ලයින් කණ්ඩායමට ඉවහල් විය. කොස්වාඩිය කණ්ඩායම වෙනුවෙන් ඉරේෂා උමයන්ගනී විසින් කෙටි පන්දු ප්‍රහාර කිහිපයක් එල්ල කළද ප්‍රබෝධා සංදීපනී සහ සෙසු කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් එක්ව එම වටය 16-25ක් ලෙස ජයග්‍රාහීව අවසන් කළේය.

දිනේෂා ප්‍රසාදිනීගේ ප්‍රබල පහරවල් කිහිපයක් සමඟින් තෙවන වටය ඇරඹිණි. ඊට එක්වූ උමයන්ගනීගේ ද ශක්තියෙන් 11-03ක් ලෙස ඉදිරියක් ලබාගන්නට කොස්වාඩිය කණ්ඩායම සමත් විය. එය රැකගනිමින් දිනේෂා සහ ඉරේෂා සුසංයෝගය දිගින් දිගටම කැෂුවල් ලයින් අන්තය පෙලන්නට විය. නමුත් පරතරය ලකුණු 4ක් දක්වා අඩුකරගැනීමට සචිනි නිමන්තිකාගේ සාර්ථක පන්දු පිරිනැමීම් වලට හැකිවිය. ලකුණු 21 සීමාවේදී ලකුණු තත්වය සමවූයේ ඉන් පසුවයි. නමුත් සිදුවූ අතපසුවීම් කිහිපයක් හේතුවෙන් 25-22ක් ලෙස එම වටය පරාජය වන්නට කැෂුවල් ලයින් කණ්ඩායමට සිදුවිය.

ලකුණින් ලකුණ සොරාගනිමින් කණ්ඩායම් දෙක සිව්වන වටය ඇරඹුවේය. නමුත් එහි මැදභාගයේදී කොස්වාඩිය කණ්ඩායම 14-09ක් ලෙස ඉදිරියෙන් සිටියේය. තම අත්දැකීම් යොදාගනිමින් පරතරය ලකුණු 9ක් දක්වා වැඩිකරගන්නට ඔවුන්ට හැකිවිය. ඒ අනුව 25-16ක් ලෙස එම වටයද ජයගනිමින් සමස්ත තරඟාවලිය ජයගත් කොස්වාඩිය විජය ක්‍රීඩිකාවන්ට පිට පිට හත්වන වරටත් ශූරතාවය ලබාගන්නට සමත්විය.

ලකුණු සටහන – 25-19, 16-25, 25-22, 25-16 (කොස්වාඩිය විජය).

විශේෂ දක්ෂතා – කාන්තා අංශය

  • දක්ෂතම ක්‍රීඩිකාව – දිනේෂා ප්‍රසාදිනී
  • හොඳම ප්‍රහාරිකාව – චම්පා කල්‍යාණි
  • හොඳම පන්දු පිරිනමන්නිය – චතුරිකා රණසිංහ
  • හොඳම ආරක්ෂිකාව – ඉරේෂා උමයන්ගනී
  • හොඳම ලිබරෝ ක්‍රීඩිකාව – ඉෂන්කා සුභාෂිනී
  • හොඳම පන්දු භාරගන්නිය – ශෂිකා ලක්මාලි

 

  • කාන්තා තෙවන ස්ථානය – රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස්
  • අනුශූරතාවය – කැෂුවල් ලයින්
  • ශූරතාවය – කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය

විවෘත පිරිමි 

පිරිමි අංශයේ අවසන් තරඟය සඳහා පියමන් කළේ කටාන එක්සත් කණ්ඩායමත් දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජයත් ය. එහිදී ඔවුන් අවසන් පූර්ව තරගවලදී පිළිවෙලින් තරුණ සේවා සභා කණ්ඩායම තරගවට 3:1ක් ලෙසත් නාත්තන්ඩිය එක්සත් ක්‍රීඩා සමාජය තරගවට 3:2ක් ලෙසත් පරාජය කරන්නට සමත් විය.

කටාන එක්සත් සහ දෙබෑගම රන්තරු රන් කුසලානය අභියස

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරඟාවලිය මේ වනවිට සියළු වොලිබෝල් ප්‍රේක්ෂකයන් උද්යෝගිමත් කරමින් සාර්ථක අවසානයක් කෙරේ ලඟාවෙමින් පවතියි.

දිවයිනේ ජනප්‍රිය වොලිබෝල් තරු රැසක් කණ්ඩායම් දෙකටම ඇතුලත්ව තිබිණි.

ගයාන් මධුශංක, දෙබෑගම ක්‍රීඩා සමාජය වෙනුවෙන් සහ සහ දීප්ති රොමේෂ්, කටාන කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස්කිරීම ආරම්භ කළේය. ලකුණු පරතරයක් නැතිවම තරඟය ලකුණින් ලකුණ ඉදිරියට ගියේය. ජනිත සුරත්, තමා 2016 හොඳම ලාංකික පන්දු පිරිනමන්නා යන වග සිහිකරමින් පිරිනැමීම් වලින් ලකුණු රැස්කළේය. ඊට ප්‍රතිවාදී අන්තයෙන් පිළිතුරු දුන්නේ සඳුන් විමලසේන සහ ලසන්ත පතිරණයි. නමුත් ලකුණු 21 සීමාවේ සිට ලකුණු පරතරයක් නිර්මාණය කරගනිමින් කටාන කණ්ඩායම 25-20ක් ලෙස තරඟ වටය ජයගත්තේය.

දෙවන වටයත් ආරම්භ වූයේ ප්‍රථම වටය හා සමානව වඩාත් උද්වේගකරවත් ය. නමුත් කටාන කණ්ඩායම ලකුණු 10 සීමාව පසුකරන විට දෙබෑගම කණ්ඩායම ලබා සිටියේ ලකුණු 7ක් පමණි. ඊට කටාන කණ්ඩායමේ ජගත් සංජයගේ සහ මෙලාන් ජයවර්ධනගේ අත්දැකීම් වලින් ලැබුණේ අනගි සහයකි. ජගත් විසින් දීප්තිව හොඳින් ප්‍රහාරයේ යොදවන ලද්දේය. අවසානයේදී ලකුණු 25-22ක් ලෙස ජයග්‍රහණය හිමිවූයේ කටාන ඒකාබද්ධ කණ්ඩායමටයි.

තෙවන වටය තුළදීද ලකුණු 4ක ඉදිරියක් කටාන කණ්ඩායම වෙත ලබා දුන්නේ ජනිත සුරත්ගේ පන්දු පිරිනැමීම් වලිනි. තම වොලිබෝල් දිවියේ අවසන් තරඟ කිහිපය ක්‍රීඩාකරන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වුවද, ජගත් සංජය සහ මෙලාන් ජයවර්ධන තවමත් නව යෞවනයන් මෙන් සැහැල්ලුවෙන් ක්‍රීඩා කරන අයුරු මේ වටයේදී දිස්විය. දෙබෑගම රන්තරු වෙනුවෙන් රූකාන්ත පතිරණ හොඳින් ක්‍රීඩා කළේය. අවසානයේදී දිගින් දිගටම තම ග්‍රහණය දැඩි කරමින් කටාන ඒකාබද්ධ කණ්ඩායම ලකුණු 25-18ක් ලෙස එම වටය ජයගනිමින් සමස්ත තරඟය ජයගත්තේය.

එබැවින් ඩයලොග් ජනාධිපති රන් කුසලානයේ විවෘත අංශයේ සමස්ත ශූරතාවය ජයගන්නට සමත් වූයේ කටාන එක්සත් කණ්ඩායමයි.

ලකුණු තත්වය – 25-10, 25-22, 25-18.

“ජයග්‍රහණය ගැන බලාපොරොත්තුවක් තිබුණා. ජාතික ක්‍රීඩකයන් රැසක් සමඟ අපි තරඟෙට ආපු නිසා ඒ විශ්වාසය තිබුණා. උපරිම විශ්වාසෙන්, හොඳින් ක්‍රීඩා කළා.” කටාන කණ්ඩායමේ නායක නිලංක රුක්ෂාන් ThePapare.com සමඟින් අදහස් දක්වමින් කියා සිටියේය.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් ශූරතා සහ තිළිණපත් ප්‍රදානය සිදුවිය.

ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර, රන්ජිත් සියඹලාපිටිය, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන්ද උත්සව සභාවට එක්ව සිටියේය.

විශේෂ දක්ෂතා – පිරිමි අංශය

දක්ෂතම ක්‍රීඩකයා – ජනිත සුරත්
හොඳම පන්දු ඔසවන්නා – ජගත් සංජය
හොඳම ප්‍රහාරකයා – දීප්ති රොමේෂ්
හොඳම පන්දු පිරිනමන්නා – ජනිත සුරත්
හොඳම පන්දු භාරගන්නා – එස්. වික්‍රමරත්න
හොඳම ලිබරෝ ක්‍රීඩකයා – සී. ප්‍රනාන්දු

  • පිරිමි තෙවන ස්ථානය – ජාතික තරුණ සේවා සභාව
  • අනුශූරතාවය – දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය
  • ශූරතාවය – කටාන එකාබද්ධ කණ්ඩායම

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට

Highlights – Dialog President’s Gold Cup 2016 – Open finals Women’s

Highlights – Dialog President’s Gold Cup 2016 – Open finals Men’s