අනාගතය මතීෂ අතේ බවට නවසීලන්තයෙන් අනාවැකියක්!

IPL 2023

4741
IPL 2023

ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංගව අභිබවා යාමේ තරම් හැකියාවක් නවක ක්‍රීඩක මතීශ පතිරණ හට ඇති බව හිටපු නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Scott Styris විසින් සඳහන් කරනවා.

මෙවර IPL තරගාවලියේ විශිෂ්ට දස්කම් දක්වමින් ලකුණු සටහනේ තෙවන ස්ථානයේ රැඳී සිටීමට සමත් වී සිටින Chennai Super Kings කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු තුරුම්පුව බවට පත්වීමට ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ විසින් සමත් වී තිබෙනවා.

IPL ඉතිහාසයේ පුරාවෘත්තයක් ලෙසින් සැලකෙන ශ්‍රී ලාංකික ක්‍රීඩක ලසිත් මාලිංග සතු වූ අසාමාන්‍ය පන්දු යැවීමේ රටාව සිහි ගන්වමින් පන්දු යැවීමේ නිරත වන මතීෂ විසින් මෙවර තරගාවලියේ මේ වන විට චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් කඩුලු 7ක් බිඳ දැමීමට සමත් වී ඇති අතර, විශේෂයෙන් ම ඉනිමක අවසන් පන්දුවාරවල ඔහු විසින් යවන යෝකර් පන්දුවල නිරවද්‍යතාව පිළිබඳ බොහෝ දෙනෙකු ඉතා පුදුමයට පත් වී තිබෙනවා.

එමෙන් ම ඔහු පැයට කිලෝමීටර් 145 ඉක්මවා පන්දු යැවීම ද කිසිදු අපහසුවකින් තොර ව සිදු කරන අතර ඊයේ Lucknow Super Giants සමඟ ක්‍රීඩා කළ තරගයේ දී ද ඔහු පන්දුවෙන් විශිෂ්ට දස්කම් දක්වමින් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

මේ වන විට මුළු ඉන්දියාව පුරා ම මතීෂ පිළිබඳ විශාල කතාබහක් නිර්මාණය වී ඇති අතර එය තවත් දිරි ගැන්වීමේ ප්‍රකාශයක් සිදු කරමින් හිටපු නවසීලන්ත ක්‍රීඩකයා ප්‍රකාශ කරන්නේ, අනාගතයේ දී මතීෂට මාලිංගටත් වඩා හොඳ දක්ෂතා පෙන්වීමට හැකියාවක් ඇති බවයි. එයට හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ මාලිංග සිය උපරිම වේගය රඳවා ගැනීමට සමත් වුනේ වසර 3-4ක කාලයක් පමණක් බව සහ පසුව ඔහුගේ වේගය අඩු වූ බවයි.

“මම හිතන්නේ මතීෂට මාලිංගටත් වඩා හොඳ වෙන්න පුළුවන්. ඔහු තවමත් ක්‍රීඩා ජීවිතයේ මුල් කාලසමය ගෙවන නිසා මේක තරමක් ලොකු ප්‍රකාශයක් බව මම දන්නවා. ඒ වගේ ම ඔහු තවමත් මාලිංග තරම් හොඳ නිරවද්‍යතාවකින් පන්දු යවන්නේ නැහැ. නමුත් මාලිංග ඔහුගේ උපරිමයේ සිටියේ ඔහු පැයට කිලෝමීටර් 145ක පමණ වේගයෙන් පන්දු යවපු කාලයේ.

ඒ වගේ ම ඔහු වසර 3-4ක පමණ කාලයක් තමයි ඒ විදිහට ක්‍රීඩා කළේ. නමුත් පසුව ඒ වේගය අඩු වුනා. ඔහුගේ උපරිම වේගය පැයට කිලෝමීටර් 135ක වගේ මට්ටමට ආවට පසුව ඔබට ඔහුගේ වේගය අඩාල කළ පන්දුවට වගේ ම යෝකර් පන්දුවටත් ප්‍රතිචාර දක්වන්න පහසු වුනා.

අපි පතිරණගෙන් දකින දේ තමයි ඔහු පැයට කිලෝමීටර් 145, 146 සහ 148 වේගවලින් පන්දු යවනවා, ඔහුට ඒ ස්වාභාවික හැකියාව තියෙනවා. ඔහු යෝකර් පන්දුව ඉතා ම හොඳින් යොමු කරනවා. ඉදිරියේ දී තවත් අත්දැකීම් සමඟින් ඔහු මාලිංග වගේ ම වේගවත් සහ වේගය අඩාල කළ යෝකර් පන්දු යොමු කරන්න සමත් වේවි. 

ඔහු තමයි ශ්‍රී ලංකාව සතු විශේෂ ක්‍රීඩකයා, ඒ වගේ ම ඔහු තමයි CSK සඳහා සිටින විශේෂ ක්‍රීඩකයා වෙන්නෙත්.”

Styris විසින් සිය අදහස එසේ පැහැදිලි කළා.

මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, IPL උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<