96 දී කප් එක ලංකාවට

156

ශ්‍රී ලංකා සත්කාරත්වයේ දායකත්වයෙන් හයවැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 1996 වසරේදී පැවැති අතර එසේ සත්කාරකත්වය සැපයූ ප්‍රථම අවස්ථාවේදීම මෙවර ලෝක ශූරයන් බවට පත්වන්නට ශ්‍රී ලංකාව සමත් වීමද විශේෂත්වයකි.

ඉන්පෙර සිවුවැනි ලෝක කුසලාන තරගාවලියේදී සත්කාරකත්වය ඉසිලූ ඉන්දියාව හා පාකිස්තානයද මෙවරත් ශ්‍රී ලංකාව සමඟ තරගාවලිය පැවැත්වීමට උරදුන් අතර 1996 පෙබරවාරි 14දා සිට මාර්තු මස 17දා දක්වා රටවල් තුනෙහි ක්‍රීඩාංගණ 17ක් කේන්ද්‍රකර ගනිමින් පැවැති තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව සමත් වූහ.

ඒ අනුව 1996 මාර්තු මස 17දා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති අවසාන මහා තරගයේදී ඕස්ට්‍රේලියාව පරදා කඩුලු 7ක ජයක් ලබා මංගල ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබන්නට අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල සමත් විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියානුවන්ට ආරාධනා කළ අතර මාක් ටේලර්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානුවෝ පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 240කට සීමා විය. එහෙත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල ලකුණු 245ක් ලබා ලෝක ශූරයන් බවට පත්වූයේ තවත් පන්දු 22ක් ඉතිරිව තිබියදී කඩුලු තුනක් පමණක් වැයකරමිනි. අරවින්ද ද සිල්වා තරගයේ වීරයා විය.

මෙම ඓතිහාසික අවසන් මහා තරගයේදී අරවින්ද ද සිල්වා ශතකයක් වාර්තා කරමින් (ලකුණු 107) නොදැවී සිටි අතර අංසක ගුරුසිංහ (ලකුණු 65) හා නායක අර්ජුන රණතුංග (නොදැවි 47) යන පිතිකරුවෝ පිත්තෙන් දස්කම් දැක්වූහ. අර්ජුන රණතුංග හා අරවින්ද ද සිල්වා සිවුවැනි කඩුල්ල සඳහා නොබිඳුන ලකුණු 97ක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකාව ජයග්‍රාහී ඉලක්කය කරා ගෙන ගිය අතර ඩේමියන් ෆ්ලෙමින් හා වර්තමානයේ අයි.සී.සී. ක්‍රිකට් විනිසුරුවරුයකු වන පෝල් රයිෆල් කඩුලු 1 බැගින් ලබා ගැනීම හැර වෙනත් කිසිදු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෙකුට සාර්ථක වීමට ඉඩ නොලැබිණි. එකල ලොව අංක – 1 දඟ පන්දු යවන්නකු ලෙස සැලකුණ ෂේන් වෝන්ට තම පන්දුවාර 10න් ලකුණු 58ක්ම උදුරා ගන්නට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූ අතර ඕස්ට්‍රේලියානු ඉනිමේදී වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා වූයේ නායක මාක් ටේලර්ගේ පිත්තෙනි.

ටේලර් පන්දු 83කින් ලකුණු 74ක් ලබාගත් අතර අරවින්ද පිත්තෙන් දස්කම් පෑමට පෙර පන්දුව අතට ගෙන නායක ටේලර්, රිකී පොන්ටින් හා ඉයන් හීලි යන තිදෙනාම නැවත ක්‍රීඩාගාරයට යැවීමට සැලැස්විය. ඒ සඳහා අරවින්ද පන්දුවාර 9කදී ලකුණු 42ක් පමණක් වැය කළේය. ඊට අමතරව චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, කුමාර් ධර්මසේන හා සනත් ජයසූරිය කඩුලු 1 බැගින් දවා ගත්තේය. මෙවර තරගාවලිය පුරා වේගවත් පිතිහරඹයක යෙදෙමින් තම තුන් ඉරියව් දක්ෂතා දක්වා ලංකා පිලට මහඟු දායකත්වයක් ඉටුකළ සනත් ජයසූරිය සමඟ ඉනිම ආරම්භ කළ රොමේෂ් කලුවිතරනද අවසාන තරග ඉනිමේ මුළු ලකුණු 23 වන විට ක්‍රීඩාගාරයට ගියද අසංක ගුරුසිංහ හා අරවින්ද එකතුව 3 වැනි කඩුල්ලට එකතු කළ ලකුණු 125ද, ජයග්‍රහණයට පාදක විය.

කණ්ඩායම් 12ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදුණු මෙම තරගාවලිය සඳහා පෙර තරගාවලියට සහභාගි වූ ටෙස්ට් වරම් ලැබූ කණ්ඩායම් 9ට අමතරව කෙන්යාව, නෙදර්ලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් තුනද ප්‍රථමවරට සහභාගි වීමද විශේෂත්වයකි. එහෙත් ශ්‍රී ලංකාවේ එවකට පැවැති ත්‍රස්තවාදී උවදුර හේතුවෙන් ඕස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් මූලික වටයේ තරග සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තරග වැදීමට අකමැත්ත පළ කිරීම හේතුවෙන් තරග සංවිධායකයන් විසින් නිතරග ජයග්‍රහණ දෙකක් ශ්‍රී ලංකාවට පිරිනමන ලදී. ඒ නිසාම තරගාවලියට අවතීරණ වීමටත් පෙර ශ්‍රී ලංකා පිල එම කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට නියමිත තරග 4න් 2ක් සඳහා සිම්බාබ්වේ හා කෙන්යාව යන රටවල් පැමිණි අතර එම තරග දෙකෙන්ම ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය අත්කර ගත්තේය.

එහෙත් අපරාජිතව ඉන්දියාවේදී කල්කටා නගරයට ගොස් ඉන්දියාව සමඟ ප්‍රථම අවසන් පූර්ව තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා පිල තම අපරාජිත බව යළි රැක ගත්තද එදින සිදුවූ බොහෝ දෑ අමිහිරි කාරණා ලෙස ලෝක කුසලාන ඉතිහාසයට එක් විය. පළමු පන්දුවාර 15 තුළදී ඉහළින් පහර එල්ලකොට එකල නව පිතිකරණ රටාවක් හඳුන්වා දුන් කලුවිතාරන හා ජයසූරිය ආරම්භක යුගලය එම තරගයේදී ලකුණු 2ක් තුළ දැවී ගියද යළි පිත්ත අතට ගත් අරවින්ද හා මහානාම තම පිල ලකුණු 265 සීමාවට රැගෙන ගියේය. එහෙත් එය හඹා යෑමට පැමිණි ඉන්දියානුවෝ ලකුණු 120ක් කඩුලු 8කට ලැබුවේ පන්දුවාර 34.1කදීය. ලකුණු 65ක් ලබා සිටි තෙන්ඩුර්කාර් පන්දු යැවූ ජයසූරිය හා කඩුලු රකින කලූ එකතුව දවා ගැනීමත් සමඟ ඉන්දීය ප්‍රේක්ෂකයෝ පන්දු රකින්නන්ට විවිධ බාධා කළහ. එනිසා එහි ජය ලංකාවට පිරිනැමිණි. එකී සියලු දස්කම් නිසාම සනත් ජයසූරිය තරගාවලියේ වීරයාද විය.

සටහන සිරිනාම