අඩු ලකුණකට වනිඳු ඇතුළු පන්දු යවන්නන්ගෙන් සුපිරි සටනක්!

778
Credit : Associated Press

Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ තවත් උණුසුම් තරගයක් ඊයේ (01) ක්‍රියාත්මක වුනා. එහි දී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ සාම්ප්‍රදායික පස මිතුරන් දෙදෙනෙකු වන Virat Kohli ක්‍රීඩා කරන Royal Challengers Bangalore සහ Gautam Gambir උපදේශකත්වය දරන Lucknow Super Giants එකිනෙකා හා ගැටුණු අතර තරගය අවසානයේ ලකුණු 18ක ජයක් ලබා ගැනීමට බැංගලෝරය සමත් වුනා.

තරගය පැවැත්වුණේ Lucknow හිදී වුවද සාපේක්ෂව වැඩි Bangalore ප්‍රේක්ෂක පිරිසක් තරගය නැරඹීමට පැමිණ සිටීම විශේෂත්වයක්. කාසියේ වාසිය දිනා ගත් Bangalore නායක Faf Du Plessis මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තත්, ඊයේ තණතිල්ල පිතිකරුවන්ට හිතකර එකක් වූයේ නැහැ. නමුත් එය ඉක්මනින් වටහාගත් Kohli සහ Plessis සැලකිල්ලෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළා.

මේ නිසාම ඔවුන් දෙදෙනාට පළමු කඩුල්ලටම ලකුණු 62ක් එකතු කරන්නට හැකියාව ලැබුණ ද, ඒ වන විට පන්දුවාර 9ක්ම අවසන් වී තිබුණා. හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටි Kohli ඊයේ Bishnoiගේ කඩුල්ලට ඈතින් දඟ කැවුණු පන්දුවකට අවදානම් ලෙස ඉදිරියට පනින්නට යාමේ දී ස්ටම්ප් කිරීමකට ලක්වුනා.

Lucknow කණ්ඩායමේ දඟපන්දු අභියෝගය හමුවේ Anuj Rawat, Glenn Maxwell, Prabhudessai වැනි මැදපෙළ පිතිකරුවන්ට ඊයේ ලකුණු 10 සීමාව හෝ පසු කිරීමට හැකි වුනේ නැහැ. Bangalore ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Plessis පවා තමාගෙන් ඉවතට දඟ කැවෙන පන්දුවකට වැරදි පහරක් එල්ල කරමින් දැවී ගියා. ඒ වන විට ඔහු එක් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 44ක්.

පන්දුවාර 9 සිට 16 වෙනි පන්දුවාරය දක්වා Bangalore පිතිකරුවන්ට එකදු හතරේ පහරක් හෝ හයේ පහරක් ලබා ගැනීමට හැකි වුනේ නැහැ. මේ නිසා Bangalore කණ්ඩායමට ලකුණු 150 සීමාව පවා සිහිනයක් බවට පත්වූ අතර Dinesh Karthik ඉනිමේ අවසන් කොටසේ දී ලකුණු 16ක් රැස්කළා. 16 වැනි පන්දුවාරයේ දී ක්‍රීඩාංගණයට වැසි ඇද හැළුනත්, එය එතරම් වේලාවක් පැවතියේ නැහැ.

නැවත තරගය ආරම්භ කිරීමෙන් පසු Bangalore ඉනිම ලකුණු 129කට සීමා වුනා. පන්දු 7කට මුහුණ දුන් වනිඳු හසරංග එහි දී ලකුණු 8ක් නොදැවී ලබා ගත් අතර ඉනිමේ අවසන් පන්දුවට ස්වීපර්-කවර් කලාපය ඔස්සේ හතරේ පහරක් එල්ල කිරීමට ඔහුට හැකි වුනා.

පන්දු යැවීමේ දී Amit Mishra සහ Ravi Bishnoi කඩුලු 2 බැගින් දවාගෙන ආරම්භක පීඩනය එල්ල කරද්දී Naveen ul Haq කඩුලු 3ක් සමඟින් ඉනිම අවසන් කිරීමට වැඩි දායකත්වයක් දැක්වූවා.

ලකුණු 200ට වැඩි ඉනිම් රැසක් දැකගන්නට ලැබුණු මෙවර IPL තරගාවලියේ ලකුණු 127කට තරගයක් ලබා දීමට හැකි වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළේ නැහැ. නමුත් මුල් පන්දුවාර කිහිපය ක්‍රියාත්මක කළ Mohommed Siraj සහ Josh Hazlewood විශිෂ්ට ලෙස පන්දු යවමින් එම තැතිගැන්ම Lucknow පිතිකරුවන්ට ඇති කළා.

ඉනිමේ දෙවැනි පන්දුවෙන්ම Kyle Mayers දැවී යද්දී Impact Player ලෙස කණ්ඩායමට ඇතුළත් වූ Ayush Badoni තම කණ්ඩායමට සෘණාත්මක බලපෑමක් සිදු කළේ පන්දු 11ක දී ලකුණු 4ක් පමණක් රැස් කරමින්. වේගපන්දු යවන්නන් ලබා දුන් සුපිරි ආරම්භය නොනැසී පවත්වා ගත් Bangalore දඟපන්දු යවන්නන් නිරන්තරයෙන්ම කඩුලු දවා ගනිමින් පීඩනය තව තවත් දැඩි කළා.

වනිඳු හසරංග යැවූ පළමු පන්දුවෙන්ම Deepak Hooda දවා ගැනීමට හැකි වූ අතර ඔහු ඒ වන විට රැස් කරගෙන සිටියේ එක් ලකුණක් පමණයි. Marcus Stoinis සහ Krunal Pandya පිටියේ ස්ථාවර වීමට යම් උත්සාහයක් ගත්ත ද ප්‍රතිවාදී දඟපන්දු යවන්නන් හමුවේ එය සාර්ථක වුනේ නැහැ. Krishnappa Gowtham ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස පන්දු 13කින් ලකුණු 23ක් ලබා ගත්ත ද අවසානයේ දුවද්දී දැවී යාමකට හසුවුනා.

මේ නිසා Lucknow කණ්ඩායමට අවසන් පන්දුවාරයේ දී සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 108ක් පමණයි. ආබාධයකට ලක්වුනු KL Rahul අද අවසන් පිතිකරුවා ලෙස පිටියට පිවිසිය ද, තනි ලකුණක් සඳහා හෝ අන්තය මාරු කර ගැනීමට නොහැකි ඔහු පිටියට පිවිසීමෙන් කිසිදු ප්‍රතිඵලයක් අත්වුනේ නැහැ. පන්දු 3කට මුහුණ දුන් ඔහු ලකුණු නොලබාම ඉනිම අවසන් කළා.

පන්දු යැවීමේ දී නැවත RCB කණ්ඩායම සමඟ එක්වුනු Josh Hazlewood සහ Karn Sharma කඩුලු 2 බැගින් දවා ගත්තා. නැවතත් සාර්ථක පන්දු යැවීමක යෙදුණු වනිඳු හසරංග තම පන්දුවාර 4ම ලකුණු 20කට අවසන් කළේ එක් කඩුල්ලක් ද දවා ගනිමින්. තරගයේ වීරයා සම්මානය අසීරු තණතිල්ලක සාර්ථක ඉනිමක් ගොඩ නංවමින් ඊයේ නැවතත් තැඹිලි පැහැ හිස්වැස්මට ද හිමිකම් කියූ Faf Du Plessis දිනා ගත්තා.

Royal Challengers Bangalore – කඩුලු 9ක් දැවී ලකුණු 126 (පන්දුවාර 20): Faf Du Plessis 44, Virat Kohli 31, Dinesh Karthik 16, Anuj Rawat 9, Wanindu Hasaranga 8*, Naveen ul Haq 3/30, Ravi Bishnoi 2/21, Amit Mishra 2/21.

Lucknow Super Giants – සියල්ලන්ම දැවී ලකුණු 108 (පන්දුවාර 19.5): Krishnappa Gowtham 23, Amit Mishra 19, Krunal Pandya 14, Naveen ul Haq 13, Marcus Stoinis 13, Josh Hazlewood 2/15, Karn Sharma 2/20, Glenn Maxwell 1/ 3, Wanindu Hasaranga 1/20.

තරගයෙන් අනතුරුව ක්‍රිකට් පිටියේ සීතල යුද්ධයක් බවට පත්වී ඇති Kohli – Gambir සටන නැවතත් කරළියට පැමිණි අතර Kohli සමඟ සංවාදයකට මුලපිරූ Lucknow කණ්ඩායමේ ආරම්භක පිතිකරු Kyle Mayersව අතින් ඇද ඉවතට රැගෙන යාමට Gambir කටයුතු කළා.

ඉන්පසු ඔවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිවූ අතර මේ නිසා ඔවුන්ගේ තරග ගාස්තුව 100%ක් ද, ඒ සඳහා මැදිහත් වූ Naveen ul Haqගේ තරග ගාස්තුවෙන් 50%ක් ද කපා හැරීමටත් තරග තීරක කටයුතු කර තිබෙනවා.

Indian Premiere League තරගාවලියේ Gujarat Titans සහ Delhi Capitals අතර තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වනවා. එහි සජීවී රූපරාමු ඔබට ThePapare.com මගින් නැරඹිය හැකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<