ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ඉහළට

2731

අයර්ලන්තය සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දී දැක්වූ දස්කම් නිසා නවතම ටෙස්ට් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට හැකිව තිබෙනවා.

තරගාවලිය පුරාවට කඩුලු 17ක් දවා ගනිමින් ඉහළ දස්කම් දැක්වූ ප්‍රභාත් ජයසූරිය වත්මන් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන හයක් ඉදිරියට පැමිණෙමින් 13 වැනි ස්ථානයට පැමිණීමට සමත්ව තිබෙනවා.

තරගාවලියට පෙර 32 වැනි ස්ථානයේ රැඳී සිටි රමේෂ් මෙන්ඩිස් තරගාවලියේ දවා ගත් කඩුලු 11 සමඟ නවතම ශ්‍රේණිගත කිරීමේ 22 වැනි ස්ථානය දක්වා ස්ථාන 10ක් පෙරමුණට පැමිණ තිබෙනවා.

අවසන් තරගයේ දී වේගවත් ශතයක් රැස් කළ ඇන්ජලෝ මැතිව්ස් සහ සිය ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 245ක් රැස් කළ කුසල් මෙන්ඩිස් නවතම ශ්‍රේණිගත කිරීමට අනුව පිළිවෙළින් 22 වැනි සහ 39 වැනි ස්ථානවල රැඳී සිටිනවා.

නවසීලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේ කැපී පෙනෙන ඉනිම් දියත් කළ පාකිස්තාන ක්‍රීඩක Fakhar Zaman එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය දක්වා ස්ථාන අටක් ඉදිරියට පැමිණ තිබෙනවා.

තරගාවලිය පුරාවට පිළිවෙළින් 117ක් සහ නොදැවී 180ක් ලබා ගනිමින් පාකිස්තාන කණ්ඩායමට විශාල සේවාවක් කළ ඔහු මීට පෙර එක්දින ශ්‍රේණිගත කිරීමේ ලබා සිටි ඉහළම ස්ථානය වුනේ හත්වැනි ස්ථානයයි.

එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ පාකිස්තාන ක්‍රීඩක Babar Azam තවමත් හිමිකර ගෙන සිටිද්දී, දකුණු අප්‍රිකානු ක්‍රීඩක Rassie van der Dussen දෙවැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<