එකක් දෙකක් පැරදුණාට තාමත් අපි හොඳයි – සංගා

IPL 2023

319

මෙවර IPL තරගාවලියේ අවසන් වරට ක්‍රීඩා කළ තරග 5න් 4ක් ම පරාජයට පත්වීමට සිදු වූ නමුත් Rajasthan Royals කණ්ඩායම තවමත් ඉතා ම හොඳ තත්වයේ කණ්ඩායමක් බවයි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර විසින් අවධාරණය කරන්නේ.

නමුත් ඔහු ඒ බව සඳහන් කිරීමට ප්‍රථම විශේෂයෙන්ම සඳහන් කළේ ඊයේ (05) Gujarat Titans කණ්ඩායම හමුවේ ලද පරාජය නම් ඉතාමත් දුර්වල සහ ලැජ්ජා සහගත පරාජයක් බවයි.

ඊයේ තරගයේ මුල් පන්දුවාර පහ තුල එක් කඩුල්ලක් දැවී ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වී සිටි රාජස්තානය එතැනින් පසු Rashid Khan සහ Noor Ahmadගේ දඟපන්දු යැවීම හමුවේ අන්ත අසරණ වෙමින් ලකුණු 118ක දී සිය ඉනිම නිමා කළා.

මෙය මෙවර තරගාවලියේ කණ්ඩායමක් විසින් ලබා ගත් දෙවැනියට අඩු ම ලකුණු ප්‍රමාණය ලෙසත් වාර්තාවල සඳහන් වනවා.

“ඔබ හොඳින් ක්‍රීඩා නොකරන විට එය ඕනෑම කෙනෙක් අපහසුතාවට පත් කරවනවා.”

රාජස්තානයේ ප්‍රධාන පුහුණුකරු මෙන් ම කණ්ඩායම් අධ්‍යක්ෂක ලෙස ද කටයුතු කරන කුමාර් සංගක්කාර මහතා විසින් සිය කණ්ඩායම ඊයේ දිනයේ ප්‍රදර්ශනය කළ ක්‍රීඩා රටාව පිළිබඳ එසේ පැවසුවා.

“අපි ලබා ගත් ආරම්භය ඉදිරියට ගෙන යාමේ දී අපි ගොඩක් ම ගොඩක් දුර්වල විදිහටයි ක්‍රීඩා කළේ.”

ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමෙන් පසුව ඇෆ්ගන් දඟපන්දු ඉදිරියේ අසරණ වීමට සිදු වීම පිළිබඳ කණස්සලු වෙමින් සංගා එසේ පැවසුවා. එමෙන් ම Rashid සහ Noorගේ පන්දු යැවීම ද ඔහු විසින් විශේෂයෙන්ම අගය කළා. ඔවුන් දෙදෙනා විසින් ඊයේ ලකුණු 39ක් පමණක් ලබා දෙමින් රාජස්තානයේ කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වුනා.

මෙහි දී සංගා විශේෂයෙන්ම සඳහන් කළේ, Noor විසින් මෙවර තරගාවලියට එතරම් හොඳ ආරම්භයක් ලබා නොගත් නමුත් දැන් ඔහු ඉතා හොඳින් පන්දු යැවීමේ නිරත වන බවයි. නමුත් එහි දී Noorට එරෙහිව පහරවලට යෑමට පිතිකරුවන් උත්සාහ කළා නම් තත්වය තරමක් වෙනස් වීමට ඉඩ කඩ තිබූ බවත් සංගා විශේෂයෙන්ම සඳහන් කරනවා.

මේ අතර ගියවර IPL තරගාවලියේ මෙන් ම මෙවර ද තරගාවලියේ මුල් භාගයේ දී සාර්ථක පිතිකරණයක නියැලුණු Jos Buttler සහ මෙවර තරගාවලියේ මුල් තරග කිහිපයේ හොඳින් පිතිකරණයේ යෙදුණු Shimron Hetmeyer යන ක්‍රීඩකයින් දෙදෙනාම පසුගිය තරග කිහිපයේ ම පිත්තෙන් අසාර්ථක වීම පිළිබඳ ව අදහස් දක්වමින් සංගා පවසන්නේ ඔවුන් ඉදිරියේ දී නිසැකව ම නැවතත් හොඳින් පිතිකරණයේ යෙදෙනු ඇති බවයි.

“ගොඩක් කණ්ඩායම්වලට මේ වගේ නරක තරග ක්‍රීඩා කරන්න සිදු වුනා. අවාසනාවන්ත ලෙස තරගාවලියේ අවසාන භාගයේ දී අපිටත් එවැනි තරගයක් ලැබුණා. අපි තවමත් ගොඩක් ඉහළ තත්වයේ කණ්ඩායමක්.

නමුත් අපි පිළිගත යුතුයි අපි අද (05) ගොඩක් දුර්වලයි. ඒ වගේ ම, ඒ තමයි පළමු පියවර. ඔබ එය වටහා ගන්නවා, පිළිගන්නවා. ඉන් පසුව ගැටලුවට පිළිතුරු සොයා ගන්නවා.”

සංගා විසින් ඊයේ ලද පරාජයෙන් නැවත ගොඩ නැගිය යුතු ආකාරය එසේ විස්තර කළා.

දිනෙන් දින උණුසුම් වන IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමට අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<