නේපාලය 2023 ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලබයි!

ACC Men's Premier Cup 2023

1485

ACC Men’s Premier කුසලාන අවසන් මහා තරගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් ලද නේපාල ක්‍රිකට් කණ්ඩායම 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අද (2) උදාකර ගත්තා.

මෙම අවසන් මහා තරගය ඊයේ (1) දිනයේ ආරම්භ වූ නමුත්, තරගය අතරතුර වර්ෂාවෙන් බාධා එල වීම නිසා  අතිරේක දිනය ලෙස නම් කර තිබූ අද දිනය තෙක් තරගය කල් දමනු ලැබුවා.

ඊයේ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නේපාල නායක Rohit Paudel විසින් සමත් වූ අතර පළමුව පන්දු රැකීමට ඔහු විසින් තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට පන්දුවාර 33යි එක් පන්දුවක දී සියල්ලන් ම දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 117ක් පමණයි.

මෙහි දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉනිම සම්පූර්ණයෙන් ම පාහේ නේපාල දඟපන්දුව හමුවේ අන්ත අසරණ වූ අතර, එහි දී නේපාල වමත් දඟපන්දු යවන ක්‍රීඩක Lalit Rajbanshi විසින් ලකුණු 14ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඊට අමතරව නේපාල පන්දු යැවීමේ බලඇණියේ ප්‍රධාන පුරුක වන Sandeep Lamichhane විසින් ලකුණු 34කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා. මේ තරගයත් සමඟින් ඔහු මේ වන විට එක දිගට එක්දින ජාත්‍යන්තර තරග 33ක දී කඩුලු දවා ගැනීමට සමත් වී තිබෙනවා.

එමීර් රාජ්‍යයේ ඉනිම වෙනුවෙන් ඉහළ ම ලකුණු ලාභියා වූ Asif Khan විසින් ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වුනා.

ඊයේ දිනයේ එමීර් රාජ්‍යය කඩුලු 9ක් දැවී ලකුණු 106ක් ලබා සිටි පසුව වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ ඉතිරි කොටස අද දිනයේ ආරම්භ වූ අතර Lalit Rajbanshi විසින් එමීර් රාජ්‍යයේ ඉනිමේ අවසන් කඩුල්ල ද දවා ගැනීමෙන් පසුව සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට නේපාලය පිටියට පිවිසුණා.

නමුත් නේපාල ඉනිමේ ද පළමු කඩුලු 3 ම ලකුණු 22ක් වන විට දවා ගැනීමට එමීර් රාජ්‍යය පන්දු යවන්නන් විසින් සමත් වුනා. කෙසේ වෙතත් ඉන්පසුව පිටියේ එක් වූ Gulsan Jha සහ Bhim Sharki විසින් සිය ඉනිම් තරමක් සෙමෙන් ස්ථාවර කිරීමට සමත් වුනා.

ඒ අනුව ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ සිව් වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක නොබිඳුණු සබඳතාවක් පැවැත්වීමට සමත් වෙමින් සිය කණ්ඩායමට කඩුලු 7ක ජයග්‍රහණයක් අත්කර දීමට සමත් වුනා. ඒ වෙනුවෙන් Gulsan Jha විසින් ලකුණු 67ක් සහ Bhim Sharki විසින් ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වී තිබුණා.

මෙම ජයග්‍රහණයත් සමඟින් මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති ආසියානු කුසලානය සඳහා සහභාගී වීමට නේපාලය වරම් දිනා ගත් අතර ඔවුන් එම තරගාවලියේ දී ඉන්දියාව සහ පාකිස්තානය සමඟින් A කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි.

එමෙන් ම එම තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය ද මෙවර ආසියානු කුසලානය වෙනුවෙන් තරග වඳිනු ඇති.

මීට අමතරව මෙම Primer කුසලාන තරගාවලියේ මුල් ස්ථාන තුන දිනා ගැනීමට සමත් වූ නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය විසින් ආසියානු ක්‍රිකට් කවුන්සිලය මඟින් සංවිධානය කරන නැගී එන කණ්ඩායම් සඳහා පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ද සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

  • UAE 117/10 (33.1) Asif Khan 46, Aryan Lakra 13, Lalit Rajbanshi 4/14, Sandeep Lamichhane 2/34
  • Nepal 118/3 (30.3) Gulsan Jha 67, Bhim Sharki 36, Rohan Mustafa 2/13

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC නිල පිටුව ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<