වසර තුනකට පසු ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවට

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2023

287

සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙම වසරේ දී දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිතව ඇති අතර එම තරගාවලි කාලසටහන දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ 2023-24 සත්කාරක තරගාවලි යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ආරම්භ කරමින් තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරග පහකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරග දෙක සැප්තැම්බර් 07 සහ 09 දෙදින තුළ  Mangaung Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර සැප්තැම්බර් 12 වැනිදා තෙවැනි එක්දින තරගය JB Marks Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

සිව්වැනි එක්දින තරගය සැප්තැම්බර් 15 වැනිදා SuperSport Park ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙද්දී, අවසන් එක්දින තරගය DP World Wanderers ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ සැප්තැම්බර් 17 වැනිදායි.

මෙය ඕස්ට්‍රේලියා කණ්ඩායමක් 2020 වසරෙන් පසු දකුණු අප්‍රිකාවේ සංචාරය කරන පළමු අවස්ථාව වන අතර අවසන් වරට දකුණු අප්‍රිකාවේ පැවති සීමිත පන්දුවාර තරගවල ජයග්‍රහණ හිමි වුනේ දකුණු අප්‍රිකාවටයි.

“ජාත්‍යන්තර තරග වාරය ආරම්භයත් එක්ක පැවැත්වෙන මෙම තරගාවලිය අපිට ඉතා වැදගත් වෙනවා, මොකද එක්දින ලෝක කුසලානය පැවැත්වෙන නිසා. අපි තවම එයට සුදුසුකම් ලබා ගෙන නැති වුනත්, අපි බලාපොරොත්තු වෙනවා තරගාවලියට සහභාගී වෙලා හොඳ තරගාවලියක් ක්‍රීඩා කරන්න.

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ඕනෑම තරගාවලියක් අපිට ඉතා වැදගත් වෙනවා වගේම කණ්ඩායමට තවත් ඉස්සරහට යන්න මේ තරගාවලිය ඉතා ගොඩක් වැදගත්. අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ හොඳ තරගාවලියක් දැක බලා ගන්න,” යැයි දකුණු අප්‍රිකා ක්‍රිකට් බලධාරි Pholetsi Moseki ප්‍රකාශ කළා.

තරගාවලියේ කාලසටහන,

  • පළමු විස්සයි විස්ස තරගය – අගෝස්තු 30
  • දෙවැනි විස්සයි විස්ස තරගය – සැප්තැම්බර් 01
  • තෙවැනි විස්සයි විස්ස තරගය – සැප්තැම්බර් 03
  • පළමු එක්දින තරගය -සැප්තැම්බර් 07
  • දෙවැනි එක්දින තරගය – සැප්තැම්බර් 09
  • තෙවැනි එක්දින තරගය – සැප්තැම්බර් 12
  • සිව්වැනි එක්දින තරගය – සැප්තැම්බර් 15
  • පස්වැනි එක්දින තරගය – සැප්තැම්බර් 17

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<