TPFC කිරුළ දෙවැනි වරටත් සාන්ත ජෝසප් විද්‍යාලයට

ThePapare පාපන්දු ශූරතාවය 2022

366
St. Joseph’s College

වසර තුනක විවේකයකින් පසුව පැවති 2022 ThePapare පාපන්දු ශූරතාවයේ අවසන් මහා තරගය අද (13) පැවැත්වුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීයි.

ඉතා උණුසුම් වූ අවසන් මහා තරගයකින් පසුව යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් පරදවා මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය ශූරතාවය දිනා ගන්නට සමත් වුනා.

සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට තරගය ආරම්භයේ දී ම දැඩි පීඩනයක් එල්ල කරමින් පළමු ගෝලය වාර්තා කරන්නට ප්‍රතිවාදීන් සමත් වුනේ හතරවැනි මිනිත්තුවේ දීයි. ඒ සෙබෙස්ති අරුල් විසින් වාර්තා කළ ගෝලයත් සමඟිනුයි.

ඉන් අනතුරුව 20 වැනි මිනිත්තුවේ දී හිමි වූ පන්දුවක් ගෝලයට එල්ල කරමින් ලකුණු තත්වය සමකිරීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් වුනේ පැතුම් ගිම්හාන් විසින් වාර්තා කළ ගෝලයත් සමඟිනුයි.

සිය කණ්ඩායමට අවශ්‍ය පෙරමුණ ලබා දෙමින් පළමු අර්ධය අවසන් වීමට කෙටි වේලාවක් තිබිය දී දෙවැනි ගෝලය වාර්තා කිරීමට පැතුම් සමත් වුනා. ඒ සමඟ පළමු අර්ධය අවසන් වුනේ  සාන්ත ජෝසප් කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පෙරමුණ දිනා ගනිමිනුයි.

දෙවැනි අර්ධයේ දී සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ගේ හදවත මොහොතකට සසල කරමින් 60 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් ගෝල තත්වය සමකිරීමට යාපනය ක්‍රීඩක නිශාන්ත් සමත් වුනා.

දඬුවම් රාමුවට පිටත සිට රැගෙන ආ පන්දුවක් තනිව ගෝලයේ දකුණු කෙළවරට එල්ල කරමින් සිය කණ්ඩායම නැවතත් පෙරමුණට ගෙන ඒමට මාක් ඇන්ඩෲ සමත් වුනේ සාන්ත ජෝසප් ප්‍රේක්ෂකයන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේයි.

තරගයේ අවසන් අතිරේක කාලයේ දී යාපනය ක්‍රීඩකයෙකුගේ ඇඟේ වැදී ආ පන්දුවක් ගෝලයට එල්ල කරමින් සිය කණ්ඩායමේ සිව්වැනි ගෝලය වාර්තා කිරීමට සාන්ත ජෝසප් ක්‍රීඩක ආඩින් පෙරේරා සමත් වුනා.

තරගාවලිය පුරාවටම දැක්වූ සාර්ථකත්වය අවසන් මොහොතේත් පෙන්නුම් කරමින් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් වාර්තා කළ පස්වැනි සහ අවසන් ගෝලයට හිමිකම් කියන්නට ඇන්ඩෲ සමත් වුනා.

ඒ සමඟින් දෙවැනි වතාවටත් ThePapare පාපන්දු ශූරතාවය සිය පාසලට රැගෙන යාමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: සාන්ත ජෝසප් 05 – 02 යාපනය මධ්‍ය මහා විද්‍යාලය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • සාන්ත ජෝසප් විද්‍යාලය: පැතුම් ගිම්හාන් (20′, 43′), මාක් ඇන්ඩෲ (80′, 90+4′), ආඩින් පෙරේරා (90+1′)
  • යාපනය මධ්‍ය මහා විද්‍යාලය: සෙබස්ති අරුල් 4′, නිශාන්ත් 60’

අවසන් මහා තරගයේ වීරයා: තේෂාන් තුෂ්මික (සාන්ත ජෝසප්)

රන් අත්වැස්ම: ඒ. ආනෝල්ඩ් ( සාන්ත පැට්‍රික්)

රන් සපත්තුව: ඇන්ටන් ජෙරොම් (සාන්ත පැට්‍රික්)

තරගාවලියේ වීරයා: පැතුම් ගිම්හාන් (සාන්ත ජෝසප්)

තරගාවලියේ තෙවැනි ස්ථානයේ සඳහා පැවති තරගයෙන් කින්නියා Al Asqa විද්‍යාලය ගෝල 5-0ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගන්නට සාන්ත පැට්‍රික් ක්‍රීඩකයින් සමත් වුනා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<