වැන්ඩර්සේ Tamil Union ජය මාවතට ගෙන යයි

Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2021

526

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ Major සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය නිමා කරමින් අද (30) පැවති අවසන් මහා තරගයේ දී රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 36ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Tamil Union ක්‍රිකට් සමාජය සමත් වුනා.

කොළඹ P. Sara Oval පිටියේ දී පැවති මෙම තරගයේ දී Tamil Union කණ්ඩායමේ පා දඟපන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 27කට කඩුලු 5ක් දවා ගනිමින් ප්‍රතිවාදී රාගම ඉනිම පාලනය කිරීම කැපී පෙනුණා. ඔහුගේ මේ දක්ෂතාව හේතුවෙන් රාගම ක්‍රීඩකයන්ට තම ඉනිමේ තවත් පන්දුවාර 17ක් ඉතිරිව තිබිය දී පරාජය භාර ගැනීමට සිදු වුනා.

කාසියේ වාසිය දිනා ගත් රාගම ක්‍රීඩකයන් පළමුවෙන් පන්දු යැවීම තෝරාගත්තා. ඒ අනුව පිටියට පිවිසි Tamil Union ක්‍රීඩකයන් කඩුලු 9ක් දැවී ලකුණු 181ක් රැස්කර ගත්තා. ඊට පිළිතුරු ලෙසින් රාගම ක්‍රීඩකයන්ට වාර්තා කර ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 145ක් පමණයි.

Tamil Union ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කර ගත්තේ සංතුශ් ගුණතිලකයි. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟ ලකුණු 47ක් වාර්තා කරගත්තා. ලකුණු 22කට කඩුලු 2ක් දැවී තිබිය දී නායක සධීර සමරවික්‍රම සහ සුපුන් කාවින්ද එක්ව Tamil Union ලකුණු පුවරුවට ලකුණු 38ක සබඳතාවක් එක් කළ අතර එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව බවට පත්වුනා.

සුපුන් කාවින්ද පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් රැස් කරගත්තා. සධීර සමරවික්‍රම පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.

යටිපෙළින් පිටියට පිවිසි රවිඳු ප්‍රනාන්දු (15) සහ ශිරාන් ප්‍රනාන්දු (17) ද Tamil Union ඉනිමට වැඩි දායකත්වයක් ලබා දුන්නා.

පන්දු යැවීමේ දී ඉෂාන් ජයරත්න, නිපුන් මාලිංග, කල්හාර සේනාරත්න සහ ජනක සම්පත් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාගම ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක සබඳතාවක් එක් කිරීමට නිශාන් මධුශ්ක සහ සමින්ද ප්‍රනාන්දු සමත් වුනා. පළමු කඩුල්ල ලෙසින් නිශාන් මධුශ්ක දැවී යන විට පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟ ලකුණු 23ක් රැස් කරගෙන සිටියා. සමින්ද ප්‍රනාන්දු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 38ක්. ඒ වෙනුවෙන් පන්දු 58කට මුහුණ දුන් ඔහු ඊට හතරේ පහර 4ක් එක් කළා.

ඔවුන් දෙදෙනාට අමතරව නායක ඉෂාන් ජයරත්න පන්දු 15ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ද, ජනක සම්පත් පන්දු 24කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ද වාර්තා කරගත්තා.

රාගම ඉනිම පාලනය කිරීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේට අමතරව ප්‍රමෝද් මධුශාන් සහ දිලුම් සුධීර කඩුලු 2 බැගින් දවා ගත්තා.

Tamil Union – කඩුලු 9ක් දැවී 181 (50): සංතුශ් ගුණතිලක 47, සුපුන් කාවින්ද 42, සධීර සමරවික්‍රම 34, ඉෂාන් ජයරත්න 2/27, නිපුන් මාලිංග 2/36, කල්හාර සේනාරත්න 2/22, ජනක සම්පත් 2/29.

රාගම – සියලුම දෙනා දැවී 145 (32.4): සමින්ද ප්‍රනාන්දු 38, ඉෂාන් ජයරත්න 26, නිශාන් මධුශ්ක 23, ජනක සම්පත් 20, ජෙෆ්රි වැන්ඩර්සේ 5/27, ප්‍රමෝද් මධුශාන් 2/45, දිලුම් සුධීර 2/28.

  • අවසන් තරගයේ වීරයා – ජෙෆ්රි වැන්ඩර්සේ (Tamil Union ක්‍රිකට් සමාජය)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – චානක රුවන්සිරි (ගාල්ල ක්‍රිකට් සමාජය)
  • තරගාවලියේ හොඳම පන්දු යවන්නා – චලන ද සිල්වා (ගාල්ල ක්‍රිකට් සමාජය)
  • තරගාවලියේ වීරයා – අසේල ගුණරත්න (ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය)

ක්‍රීඩා පිටියේ සිදුවෙන උණුසුම් පුවත් සැනෙකින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<