ඇෆ්ගන් පන්දු යවන්නන් ඉදිරියේ රාජස්ථානයට දරුණු පරාජයක්

540
Credit : BCCI

මෙවර Indian Premiere League තරගාවලියේ මුල් කණ්ඩායම් 4 අතර රැඳී සිටින Gujarat Titans සහ Rajastan Royals අතර තරගය ඊයේ (05) ක්‍රියාත්මක වුනා.

එහි දී තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වූ Gujarat Titans කඩුලු 9ක පහසු ජයක් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තවදුරටත් සුරක්ෂිත කර ගන්නට සමත් වුනා.

තරගය පැවැත්වුනේ Rajastan Royals වැඩි ජන ඝණත්වයක් සහිත Jaipur හිදීයි. තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකව Gujarat Titans විසින් මිල දී ගත් නිසා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ද මෙම තරගය දෙස ඇස ගසාගෙන සිටියත්, ඔවුන්ගේ බලාපොරොත්තු මෙවරත් ඉෂ්ට වුනේ නැහැ. කාසියේ වාසිය ජය ගත් Rajastan Royals මුලින් පිත්ත අතට ගැනීමට තීරණය කළා.

ආරම්භයේ සිටම මෙම තරගයේ අණසක පැතිරවීමට Gujarat කණ්ඩායම සමත් වූ අතර මීට පෙර ඉහළ පිතිකරණ දක්ෂතා අතර සිටි Jos Buttlerව වේලාසනින්ම දවා ගැනීමට නායක Pandya සමත් වුනා. ලකුණු යන්ත්‍රයක් බවට පත්ව සිටි Yashasvi Jaiswal ඊයේ ලකුණු 14කට දුවද්දී දැවී ගියා. කඩුලු 2කට ලකුණු 60ක් ලබා සිටි Rajastan ඉනිම බිඳ වැටීම ආරම්භ වන්නේ සත්වැනි පන්දුවාරයේ සිටයි.

එහි දී ඔවුන්ගේ මැදපෙළ ඉතාමත් වේගයෙන් කඩා වැටීම නිසා රාජස්ථානයට විශාල ලකුණක් කරා යාමේ අවස්ථාව සහමුලින්ම අහිමි වුනා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Rajastan නායක Sanju Samson පන්දු 20කින් ලකුණු 30ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සමඟයි. ඔහුගේ කඩුල්ලට හිමිකම් කීමට අයර්ලන්ත වේගපන්දු යවන්නෙක් වන Joshua Little සමත් වුනා.

ඉන්පසු රාජස්ථාන් ඉනිම සම්පූර්ණයෙන්ම වනසා දැමීමේ ගෞරවය හිමිවන්නේ ඇෆ්ගන් දඟපන්දු යුගලයක් වන Rashid Khan සහ Noor Ahmedටයි. ඔවුන් දෙදෙනා තමන් අතරේ ප්‍රතිවාදී කඩුලු 5ක් බෙදා ගැනීමට සමත් වුනා. සුපුරුදු පරිදි අතිවිශිෂ්ට පන්දු යැවීමක යෙදුණු Rashid Khan කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 14ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්. මේ නිසා සත්කාරක Rajastan Royals කණ්ඩායමට තවත් පන්දු 13ක් ඉතිරිව තිබිය දී ම ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 118ක් පමණයි.

මෙම පහසු ඉලක්කය Gujarat Titans විසින් නිදහසේ හඹා යන්නේ අඩු ලකුණු සංඛ්‍යාවකින් නතර වීම Rajastan පිතිකරුවන්ගේ වරදක් මිස තණතිල්ලේ වරදක් නොවන බව සනාථ කරමින්. පළමු කඩුල්ලටම ඔවුන් ලකුණු 71ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වුනා. ඒ Shubman Gill සහ Wriddhiman Saha අතරයි.

නිරතුරුවම ලකුණු අතර සිටින Shubman Gill ඊයේ අවස්ථාවේ හැටියට සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 35කින් ලකුණු 36ක් රැස්කර ගත්තා. ඒ හතරේ පහර දුසිම් භාගයකින් තම ඉනිම වර්ණවත් කර ගනිමින්. පසුගිය තරගයේ නොදැවී අර්ධ ශතකයක් ලබාගෙනත් අදාළ ඉලක්කය පසුකර යාමට නොහැකිව Delhi Capitals වෙතින් පරාජය භාරගත් Hardik Pandya ඊයේ එහි වාඩුව ගැනීමට සමත් වුනේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින්.

Rajastan කණ්ඩායමේ අවසන් ජයග්‍රහණ බලාපොරොත්තුවත් දියකර දැමූ ඔහු පන්දු 15කින් ප්‍රවේගකාරී ලකුණු 39ක් ලබා ගත්තා. ප්‍රතිවාදී පන්දු යවන්නන්ට හිතේ හැටියට සංග්‍රහ කළ Gujarat නායකයා අලංකාර හතරේ පහර 3ක් සහ දැවැන්ත හයේ පහර 3ක් එල්ල කළා. ඒ ප්‍රහාරක වේගය 260ක් වැනි ඉතා ඉහළ අගයක රඳවා ගනිමින්.

ඉනිම ආරම්භයේ සිට නිමාව දක්වාම නොදැවී එක් අන්තයක් ආරක්ෂා කරගෙන සිටි Wriddhiman Saha ලකුණු 41ක් ලබා ගත්තා. ඒ පන්දු 34ක දී හතරේ පහර 5ක්ද එල්ල කරමින්. මේ අනුව තවත් සම්පූර්ණ පන්දුවාර 6ක් ඉතිරිව තිබිය දී ම ජය කණුව සොයා ගිය ගුජරාටයට තම දල ලකුණු වේගය ද පිලිසකර කර ගැනීමට ඊයේ අවස්ථාව උදා වුනා. මේ වන විට තරග 10ක දී ජයග්‍රහණ 7ක් ලබා සිටින ඔවුන්ට හිමිව ඇති දල ලකුණු සංඛ්‍යාව 14ක්.

Rajastan Royals – සියල්ලන්ම දැවී ලකුණු 118 (පන්දුවාර 17.5): Sanju Samson 30, Trent Boult 15, Yashasvi Jaiswal 14, Devdutt Padikkal 12, Rashid Khan 3/14, Noor Ahmed 2/25, Hardik Pandya 1/22, Joshua Little 1/24.

Gujarat Titans – එක් කඩුල්ලක් දැවී ලකුණු 119 (පන්දුවාර 13.5): Wriddhiman Saha 41*, Hardik Pandya 39, Shubman Gill 36, Yuzvendra Chahal 1/22.

ඔවුන්ට පසුපසින් ප්‍රසාද ලකුණු 11 බැගින් ලබා සිටින Lucknow Super Giants සහ Chennai Super Kings කණ්ඩායම් දෙක ස්ථානගත වී ඇති අතර ඊට පහළින් කණ්ඩායම් 4ක් ලකුණු 10 බැගින් ලබා සිටින්නේ මෙවර IPL තරගාවලියේ තරගකාරීත්වය ඉතා ඉහළින්ම රඳවා ගනිමින්.

අද Chennai Super Kings සහ Mumbai Indians අතර තරගය සවස 3.30ටත්, Delhi Capitals සහ Royal Challengers Bangalore අතර තරගය රාත්‍රී 7.30ටත් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එහි උණුසුම් තරග තොරතුරු සහ තරගාවලියේ සජීවී දසුන් වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<