ඩිල්ශාන් සහ භානුකට අමතරව දකුණු අප්‍රිකාව කවුරුන් තෝරා ගනීවි ද?

SA20 Auction

2156

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන SA20 විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරග වාරය වෙනුවෙන් පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසිය (Mini Auction) එළඹෙන සැප්තැම්බර් 27 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම වසරේ ජනවාරි/පෙබරවාරි මාසවල දී පැවැත්වුණු පළමු SA20 තරග වාරය වෙනුවෙන් කණ්ඩායම් 6ක් තරග වැදුණු අතර එහි ශූරතාව දිනා ගැනීමට Sunrises Eastern Cape කණ්ඩායම සමත් වුනා.

මේ අතර එම තරග වාරය වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතරින් පිරිසක් තවදුරටත් තම කණ්ඩායම්වල රඳවා තබා ගැනීමට කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් තීරණය කළ අතර, අනෙක් ක්‍රීඩකයින් කණ්ඩායම්වලින් නිදහස් කෙරුණා.

ඒ අනුව Durban Super Giants නියෝජනය කිරීමට වරම් ලත් ශ්‍රී ලංකා නවක වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංකව තවදුරටත් සිය කණ්ඩායමේ රඳවා ගැනීමට Super Giants විසින් තීරණය කළා.

එමෙන්ම තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට පෙර සිය කැමැත්ත අනුව Pre-Signing අවස්ථාව යටතේ ද ක්‍රීඩකයින් තම කණ්ඩායම්වලට එක් කර ගැනීමට අවස්ථාව හිමි වී තිබුණා.

එම අවස්ථාව යටතේ භානුක රාජපක්ෂව සිය කණ්ඩායම සමඟ එක් කර ගැනීමට නැවත ක්‍රියාත්මක වූ Super Giants සමත් වුනා.

මේ වන විට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් SA20 තරගාවලිය නියෝජනය කිරීමට නියමිතව සිටින්නේ මොවුන් දෙදෙනා පමණක් වුනත් සැප්තැම්බර් 27 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසිය තුළින් එම තත්වය වෙනස් වීමට ද ඉඩ තිබෙනවා.

ගියවර අනුශූරතාව දිනා ගත් Pretoria Capitals කණ්ඩායමට එළඹෙන වෙන්දේසියෙන් ක්‍රීඩකයින් සිව් දෙනෙකු මිල දී ගැනීමට ඉඩ ඉතිරි වී තිබෙනවා. එමෙන්ම MI Cape Town සහ Jo’burg Super Kings කණ්ඩායම් දෙකේ ස්ථාන තුන බැගිනුත්, Paar Royals සහ Sunrisers Eastern Cape සංචිතය දෙකේ ස්ථාන දෙක බැගිනුත් ඉතිරි වී ඇති අතර, Durban Super Giants සංචිතයේ එක් ස්ථානයක් ද මෙම මෙම වෙන්දේසිය හරහා පිරවීමට ඉඩ ඉතිරිව පවතිනවා.

මීට අමතර මෙම සෑම කණ්ඩායමකට ම Rookie Player (මීට පෙර SA20 තරගාවලිය ක්‍රීඩා නොකළ, වයස අවුරුදු 22ට අඩු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු) සහ Wild Card Player ලෙස ක්‍රීඩකයින් දෙදෙනෙකු ද සිය කණ්ඩායමට එකතු කර ගැනීමට අවස්ථාව හිමි වී තිබෙනවා.

මෙහි දී MI Cape Town (Jofra Archer) සහ Sunrisers Eastern Cape (Craig Overton) කණ්ඩායම් විසින් සිය Wild Card අවස්ථාව දැනටමත් භාවිත කර අවසන්.

මේ අනුව මෙම කණ්ඩායම් හය වෙනුවෙන් දැනට ඉතිරි වී ඇති ක්‍රීඩක පුරප්පාඩු පුරවා ගැනීම එළඹෙන සැප්තැම්බර් 27 වැනිදා සම්පූර්ණ වනු ඇති බව අනුමාන කළ හැකි.

(මෙහි දී එක් සංචිතයක සිටිය හැකි උපරිම ක්‍රීඩකයින් සංඛ්‍යාව 19ක් වන අතර, ඉන් ක්‍රීඩකයින් 10 දෙනෙකු අවම වශයෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් විය යුතුයි. එමෙන්ම එක් සංචිතයක රඳවා ගත හැකි උපරිම විදෙස් ක්‍රීඩක සංඛ්‍යාව 7ක් ලෙසයි සඳහන් වන්නේ.)

SA20 ක්‍රීඩක වෙන්දේසිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<