ඔලිම්පික් ශූරියකට දීර්ඝකාලීන තහනමක්

98

2016 රියෝ ඔලිම්පික් උළෙලේ “මීටර් 3000 බාධක දිවීම” ඉසව්වේ රන් පදක්කම් ලාභී බහරේන් දිගුදුර ධාවන ශූරී රූත් ජීබෙට් හට වසර හතරක තරග තහනමක් පැනවීමට “Athletics Integrity Unit” විසින් ඊයේ (04) දින තීරණය කරන ලදි.

2017 වසරේ බහරෙන් හීදි ලබා දුන් “stamina-boosting drug EPO” පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් 2018 වසරේ ඇය මුල්ම වරට තහනමකට ලක් වූ අතර එය නැවත සලකා බැලීමෙන් පසුව 2020 මාර්තු 04 (ඊයේ) දිනයේ දී ඇයට වසර හතරක තරග තහනමක් පැනවීමට කමිටුව තීරණය කරන ලදි. ඒ අනුව 2018 පෙබරවාරි 18 වැනිදා සිට වසර 4ක් යනතුරු මෙම තහනම පවතිනු ඇත.

රූත් ජිබෙට් 2016 ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී

2013 වසරේ පැවති “Arab Athletics Championships” තරගාවලියේ තම ඉසව්ව වන “මීටර් 3000 බාධක දිවීම” තරගය නව බහරේන් තරග වාර්තාවක් සමඟින් දෙවැන්නා ලෙස අවසන් කරමින් කරළියට පැමිණි ඈ එම වර්ෂයේම පැවති “Asian Athletics Championships” තරගාවලියේ දී එම ඉසව්ව මිනිත්තු 9:40.84 කාලයකින් අවසන් කරන්නේ එම තරගාවලි වාර්තාව ද තමන්ගේ නමට ලියා ගනිමිනි.

එම ජයග්‍රහණයන්ගෙන් අනතුරුව 2016 වසරේ පැවති ගිම්හාන ඔලිම්පික් තරගාවලියේ දී ඇය තම ඉසව්ව මිනිත්තු 8:59.75ක කාලයකින් නිමා කරමින් ජය ගන්නේ ඔලිම්පික් රන් පදක්කමක් දිනූ ප්‍රථම බහරේන් මලල ක්‍රීඩිකාව ලෙස ඉතිහාස ගත වෙමිනි. නැවතත් ක්‍රියාත්මක වූ ඇය “2016 IAAF Diamond League” තරගාවලියේ දී එම ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කරන්නේ මිනිත්තු 8:52.78 කාලයකින් තරගය නිමා කරමිනි. 

එලෙස ඉතා ඉහළ දස්කම් දක්වමින් සිටි මෙම ක්‍රීඩිකාව හට මෙම සිදුවීමත් සමඟ පිටියෙන් ඉවත් වීමට සිදු වන්නේ තමන් උපයා ගත් ගෞරවය ද අහිමි කරගනිමිනි. මෙම 23 හැවිරිදි ඔලිම්පික් ශූරියගේ තහනමත් සමඟ මෙවර බහරේන් දේශයේ නියත ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුව බොදවී යයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<