ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ 330කට දැවී යයි

India A tour of Sri Lanka

4
Sri Lanka Cricket

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු වැනි සිව් දින නිල නොලත් ක්‍රිකට් තරගයේ 3 වැනි දිනය (27) අවසන් වෙද්දී තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන ඉන්දීය ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 48ක් ලබා සිටි අතර ඒ අනුව ඔවුන් මේ වන විට සත්කාරකයන්ට වඩා ලකුණු 170ක් ඉදිරියෙන් පසුවෙනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම තම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 452ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා  A ක්‍රිකට් ක්‍රීඩකයෝ අද තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 330ක් ලබා ගන්නවා.

ඔවුන් අද එම ඉනිම ආරම්භ කරන්නේ කඩුලු 2ක් දැවී ලකුණු 113ක් ලබා සිටියදීයි.  ඒ වෙද්දී නුවනිඳු ප්‍රනාන්දු නොදැවී ලකුණු 65ක් ද සහ අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 18ක් ද ලබා සිටියා. ඔවුන් දෙදෙනා අතුරින් අද පළමුවෙන් ම තම ඉනිම හැර යන්නේ නුවනිඳු ප්‍රනාන්දු.

ඔහු දැවී යන විට පන්දු 142කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 84ක් ලබා සිටි අතර ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට ‍පන්දු 184ක දී ලකුණු 105ක සබඳතාවක් ද එක් කර තිබුණා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට එක් වෙන්නේ නායක සහන් ආරච්චිගේ. ඔහු සහ අශේන් බණ්ඩාර දෙදෙනා ද ඉන්දීය පන්දු යවන්නන් වෙහෙසට පත් කරමින් ශතක සබඳතාවක් ගොඩ නගනවා.

පන්දු 207ක දී ලකුණු 117ක් ලබා සිටිය දී එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන අතර එහි දී කඩුල්ල හැර යන්නේ අශේන් බණ්ඩාර. ඒ වෙද්දී ඔහු පන්දු 162කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 70ක් ලබා සිටියා.

සහන් ආරච්චගේ ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 72ක් ලබා සිටියා.

ඔවුන් ගේ දැවී යෑමෙන් අනතුරු ව රවිඳු ප්‍රනාන්දු පන්දු 16ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ද සහ අංජල බණ්ඩාර සහ චාමික ගුණසේකර ලකුණු 15ක් බැගින් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Auqib Nabi ලකුණු 58කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව Yash Thakur සහ Harsh Dubey කඩුලු ද්විත්වයක් බැගින් ද, Saransh Jain සහ Anshul Kamboj කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 122ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම සුපුරුදු ලෙසින් ම Sai Sudharsan සහ Aayush Pandey එක් ව ආරම්භ කළ ද Sai Sudharsan ලකුණු 7ක් ලබා සිටිය දී ආබාධිත තත්ත්වයක් මත පිටියෙන් ඉවත් වෙනවා.

තරගය 3 වැනි දිනයට නතර කරන විට Aayush Pandey පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ද සහ Devdutt Padikkal පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ද ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම- පළමු ඉනිම කඩුලු 6ක් දැවී 452 (111.4) Sai Sudharsan 132, Aayush Pandey 25, Ruturaj Gaikwad 22, Dhruv Jurel නොදැවී 141, Shaik Rasheed 63, Harsh Dubey 30, චාමික ගුණසේකර 3/84, දිලුම් සුදීර 2/143
  • ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම- පළමු ඉනිම සියලුම දෙනා දැවී 330 (101.4) නුවනිඳු ප්‍රනාන්දු 84, අශේන් බණ්ඩාර 70, සහන් ආරච්චිගේ 72, රවිඳු ප්‍රනාන්දු 22, Auqib Nabi 4/58, Yash Thakur 2/51, Harsh Dubey 2/84
  • ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම- දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 48 (17.0) Ayush Pandey නොදැවී 20, Devdutt Padikkal නොදැවී 20

ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම ලකුණු 170ක් ඉදිරියෙන්.

මෙම තරගය හෙට (28) 4 වැනි සහ අවසන් දිනයටත් පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ තවත් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<