“Babar තමයි අංක එකේ පිතිකරුවා” – චමින්ද වාස්

LPL 2023

3680

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙකු ලෙස සැලකෙන චමින්ද වාස් විසින් ඉන්දීය වෙබ් අඩවියක් වන Hindustan Times සමඟ සාකච්ඡාවකට එක් වෙමින් වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයින් දෙදෙනෙකු වන Babar Azam සහ Virat Kohli පිළිබඳ විශේෂ අදහස් කිහිපයක් පළ කර තිබෙනවා.

මෙවර LPL තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් අතරින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇති ක්‍රීඩකයෙකු ලෙස Babar Azamව හඳුන්වා දිය හැකි අතර, ඔහු විසින් මෙවර තරගාවලියේ දී Colombo Strikers නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වනවා. එම නිසාම Colombo කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන චමින්ද වාස් හට Babar හා සමීපව කටයුතු කිරීමට ද අවස්ථාව උදා වී තිබෙනවා.

තරගාවලිය ආරම්භ වීමට පෙර බොහෝ දෙනෙකු විසින් අනුමාන කළේ Strikers නායකත්වය Babar Azam හට හිමි වනු ඇති බවයි. නමුත් Babar විසින් එම තනතුර බාර නොගෙන පිතිකරුවෙකු ලෙස සිය උපරිම දායකත්වය කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට තීරණය කළ බවයි වාස් සඳහන් කරන්නේ.

“Babarට අවශ්‍ය වුනා පිතිකරුවෙකු ලෙස පමණක් ක්‍රීඩා කරන්න. අපි ඔහුගේ තීරණයට ගරු කළා. නිරෝශන් දික්වැල්ල අපේ නායකයා වුනා.”

මෙවර තරගාවලියේ දී Babar විසින් Strikers නියෝජනය කරමින් එක් අර්ධ ශතකයක් පවා ලබා ගැනීමට සමත් වී සිටිනවා. නමුත් ඔහු විස්සයි විස්ස ක්‍රීඩකයෙකු ලෙස පවත්වා ගන්නා පන්දුවට පහර දීමේ වේගය පිළිබඳ යම් කතාබහක් ද ඒ හා සමපාතව ම ඇති වී තිබෙනවා. නමුත් තම කණ්ඩායම ඔහුගෙන් ලබා ගත යුතු උපරිමය ලබා ගන්නා බවයි වාස් විසින් මෙහි දී සඳහන් කරන්නේ.

“අපි දන්නවා ආරම්භක පිතිකරුවෙක් විදිහට Babar ඉතාම හොඳින් දක්ෂතා පෙන්වනවා. ඔහුගේ කාර්ය භාර්යය තමයි මුල්පෙළේ සිට ලකුණු ලබා ගැනීම. මට විශ්වාසයි අපේ කණ්ඩායම සහ පුහුණුකරුවන් විසින් ඔහුගෙන් කණ්ඩායමට ලැබිය යුතු දේ ගැන සාකච්ඡා කරාවි. අපි ඒ අනුව Babar Azamගෙන් හොඳම දේ ලබා ගන්නවා.”

එමෙන්ම Babar Azam යනු දැනට ලොව සිටින අංක එකේ පිතිකරු බව ද වාස් විසින් මෙම සාකච්ඡාව තුළ දී විශේෂයෙන්ම අවධාරණය කරනවා.

“ඔබ Babarව සැලකුවොත්, අපි හැමෝම දන්නවා ඔහු තමයි දැනට ලොව සිටින අංක එකේ පිතිකරුවා. ඔහු කණ්ඩායම වෙනුවෙන් දායක වන සහ දක්ෂතා දක්වන ආකාරය විශ්මයජනකයි.”

Babarට අමතරව Strikers සමඟ එක් වී සිටින පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Naseem Shah මෙන්ම, Jaffna Kings නියෝජනය කරන දකුණු අප්‍රිකාවේ David Miller වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සමඟ එකට එක්ව ක්‍රීඩා කිරීම ශ්‍රී ලාංකික නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයින්ට වටිනා අත්දැකීමක් වනු ඇති බවට වාස් විසින් විශ්වාසය පළ කරනවා.

එමෙන්ම LPL තරගාවලියේ සිය කණ්ඩායම වන Colombo Strikers විශේෂයෙන්ම මෙවර තරගාවලිය වෙනුවෙන් ඉහළ සූදානමකින් යුතුව සිටින බවත් වස් මෙහි දී සඳහන් කර තිබුණා.

මේ අතර සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ එක්දින ජාත්‍යන්තර කඩුලු 400ක් දවා ගැනීමට සමත් වුනු මේ විශිෂ්ට වේගපන්දු යවන්නා එකල ඉන්දීය පිතිකරුවන්ට මහත් හිසරදයක් වූ බව සඳහන් කළ හැකි.

සිය ජාත්‍යන්තර එක්දින කඩුලු 400න් 70ක්ම ඉන්දීය පිතිකරුවන් දවා ගැනීම වෙනුවෙන් වෙන් කිරීමට වාස් වග බලා ගෙන තිබීම ම එයට ඉතා හොඳ නිදසුනක් ලෙස සඳහන් කළ හැකි. එම නිසාම මෙම ඉන්දීය වෙබ් අඩවිය විසින් විශේෂයෙන්ම වාස්ගෙන් ඉන්දීය පිතිකරුවන් දවා ගැනීම පිළිබඳ ව ඔහුගේ අදහස් විමසීමට අමතක කළේ නැහැ.

“මම උත්සාහ කරන්නේ (ඔවුන් ව දවා ගැනීමට) කඩුල්ල තුළට පන්දුව යොමු කරමින් (මිඩ්විකට් වල පන්දු රකින්නෙකු රඳවමින්) කඩුල්ල මුවා කිරීමෙන් හෝ කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් දවා ගන්නයි. Trent Boult සහ Shaheen Shah Afridi වැනි බොහෝ වමත් පන්දු යවන්නන් විසින් පන්දුව කඩුල්ල තුළට යොමු කරමින් දවා ගන්නයි උත්සාහ කරන්නේ.”

ඉන්දීය මුල්පෙළ පිතිකරුවන් වමත් වේගපන්දු යවන්නන් හමුවේ තරමක් දුර්වල ලෙස ක්‍රීඩා කිරීම නිසා තමන්ට ඔවුන් වෙනුවෙන් ඇති උපක්‍රමය වාස් විසින් එසේ පැහැදිලි කළා.

කෙසේ වෙතත් ඉන්දීය පිතිකරුවන් පිළිබඳ සඳහන් කිරීමෙන් පසු Viart Kohli සහ Sachin Tendulkar වෙත කතාව ඇදී යාම සාමාන්‍ය සිදුවීමක්. ඒ අනුව වාස් විසින් ඔවුන් දෙදෙනා ව ද යම් සංසන්දනය කිරීමකට භාජනය කළා.

“ගොඩක් අයට අවශ්‍යයි Kohli විසින් දිගටම උපරිම දක්ෂතා පෙන්වනවා දකින්න. ඔහු තරගයක් දෙකක් අසාර්ථක වුනොත් මිනිස්සු වෙනස් විදිහේ ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. මොකද Kohli ඔහුගේ ක්‍රිකට් ජීවිතය ආරම්භයේ පටන් ම එක දිගට ලකුණු ලබා ගත්තා.

ක්‍රීඩකයෙකුට දුර්වල කාල සීමා එන්න පුළුවන්, නමුත් ඔහුගේ විශිෂ්ටත්වය ගැන සැකයක් නැහැ.

Sachinගේ ක්‍රීඩා ජීවිතයේ අවසාන කාලයේ දීත් මිනිස්සු මේ විදිහේ බලාපොරොත්තු තැබුවා. හැම තරගයක ම දක්ෂතා පෙන්වා වී කියලා ඔවුන් හිතුවා. නමුත් ඒ දේ හැමදාම වෙන්නේ නැහැ.

ඒ නිසාම වෙන්න ඇති Kohliත් දැන් අඩු දක්ෂතා පෙන්වනවා කියලා හිතෙන්නේ. ඔහුගේ ශරීර යෝග්‍යතාව සහ තාක්ෂණය ඇත්තෙන්ම හොඳයි.”

එමෙන්ම Kohli හට තවත් සෑහෙන්න කාලයක් ක්‍රීඩා කිරීමට ඉතිරි වී ඇති බව සහ ඉන්දීය ක්‍රිකට් වෙනුවෙන් බොහෝ දේ කිරීමට ඔහුට ඉතිරි වී ඇති බව වාස් විසින් අවධාරණය කරනවා.

මේ අතර මෙම සාකච්ඡාව තුළ දී මෙවර ආසියානු කුසලානය පිළිබඳ යම් අනාවැකියක් පවසන ලෙස වාස් හට ඇරයුම් ලැබුනත්, එහි දී ඔහු එයට එකඑල්ලේ පිළිතුරක් ලබා දී තිබුණේ නැහැ.

මෙවර LPL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<