ඉන්දීය නායිකාව බංග්ලාදේශයේ දී යකා නටයි

India women's tour of Bangladesh 2023

12915
Harmanpreet Kaur gets angry about umpire decisions

ඉන්දීය සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ (22) 1-1ක් ලෙස සම මට්ටමින් අවසන් වුනේ පිළිතුරු නොමැති ගැට‍ලු රාශියක් ඉතිරි කරවමිනුයි.

දෙරට අතර පැවැත්වුණු පළමු තරග ද්විත්වය නිමා වන විට දෙපිළම එක් තරගය බැගින් ජයග්‍රහණය කරමින් තරගාවලියේ සම මට්ටමින් රැඳී සිටි අතර, ඊයේ පැවැත්වුණු තරගයෙන් ජයග්‍රහණය කරනා කණ්ඩායමට ශූරතාව හිමි වීමට නියමිතව තිබුණා. 

නමුත් කිසිවෙකු බලාපොරොත්තු නොවූ ලෙස තරගය ලකුණු සම වීමෙන් අවසන් වූ අතර, එය ඉන්දියාවට එතරම් සතුටුදායක මොහොතක් නොවුනත් බංග්ලාදේශයට නම් විශාල ජයග්‍රහණයක් බවයි පෙනී ගියේ. 

එමෙන්ම ඉන්දීය කණ්ඩායමේ මෙම නොසතුටට ඊයේ තරගයේ දී ඔවුන්ට ලැබුණු විනිසුරු තීරණ කිහිපයක් ද හේතු වූ බව විශ්වාස කළ හැකි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම විසින් කඩුලු 4ක් දැවී ලකුණු 225ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් පිළිතුරු ඉනිම දියත් කළ ඉන්දීය පිතිකාරිණියන් පන්දුවාර 49 පන්දු 3ක් තුළ සියල්ලන් ම දැවී ලකුණු 225ක් ලබා ගත්තා. 

මෙහි දී ඉන්දීය ඉනිමේ 34 වැනි පන්දුවාරයේ දී ඉන්දීය නායිකා Harmanpreet Kaur විසින් ස්වීප් පහරක් එල්ල කිරීමට යාමේ දී පිත්තේ හරි හැටි නොවැදුණු පන්දුව ස්ලිප් හි පන්දු රකිමින් සිටි Nahida Akter විසින් උඩපන්දුවක් ලෙස රැක ගත් බවට විනිසුරුගෙන් ඉල්ලීම් කළ අතර, විනිසුරු විසින් එය දැවී යාමක් බව තහවුරු කළා.  

නමුත් පන්දුව පිත්තේ වැදුණා ද, නැතිනම් පා ආවරණයේ පමණක් වැදුණා ද යන්න තරමක සැක සහිත බවකුයි එහි පුනරූපණ තුලින් පෙනී ගියේ.  

තමන්ට ලැබුණු තීරණය පිළිබඳ ඉන්දීය නායිකාව කිසි ලෙසකින්වත් සතුටු නොවූ අතර ඇය විසින් පිත්තෙන් කඩුල්ලට වැරෙන් පහරක් එල්ල කර අතර, පසුව සිය තීරණය ලබා දුන් විනිසුරුවරයාට ද කිසියම් දෙයක් පැවසූ බව පෙනෙන්නට තිබුණා.

එමෙන්ම Harmanpreetට පෙර ඉන්දීය ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය Yastika Bhatia ද කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන් දැවී ගිය නමුත්, Yastika විසින් ද තමන්ට ලැබුණු තීරණය සම්බන්ධයෙන් එතරම් සතුටට පත් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. 

මීට අමතර ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාරයේ දෙවැනි පන්දුවට Jemimah Rodrigues විසින් ලකුණක් ලබා ගනිමින් තරගයේ ලකුණු තත්වය සම කළ අතර, මීළඟ පන්දුව ඉන්දීය අවසන් පිතිකාරිණිය වූ Meghna Singhගේ පිත්ත අසලින් බංගලාදේශ කඩුලු රකින්නිය වෙත ඇදී ගිය අතර, Meghna දැවී ගිය ක්‍රීඩිකාවක ලෙස සටහන් කිරීම නිසා තරගය සම මට්ටමින් අවසන් වුනා. 

නමුත් Meghna ද සිය දැවී යාමේ තීරණය සම්බන්ධයෙන් එතරම් සෑහීමකට පත් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. මෙහි දී Harmanpreet සහ Meghnaගේ දැවී යාම් සම්බන්ධ තීරණ Tanvir Ahmed විනිසුරුවරයා විසින් ලබා දුන් අතර, Yastikaගේ දැවී යාමේ තීරණය Muhammad Kamruzzaman විසින් ලබා දුන්නා.  

තරගයේ සිදුවීම්වල උණුසුම එතෙකින් ද නොනැවතුණු අතර තරගාවලියේ සම්මාන බෙදා දීම වෙනුවෙන් පැවැත්වුණු උත්සවයේ දී ද යම් උණුසුම් තත්වයක් ගොඩ නැගුණා. 

“මේ ක්‍රීඩාවෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව මෙහි සිදු වුනු තරග විනිශ්චයන් ගැනත් අපි පුදුමයට පත් වුනා. මීළඟ වතාවේ අපි බංග්ලාදේශයට එන විට මෙවැනි විනිසුරුවන් සමඟ කටයුතු කරන්න සිදු වෙන බව දැනුවත්ව එන්න ඕන. අපි ඒ වෙනුවෙන් සූදානම් විය යුතුයි.  

බංග්ලාදේශය ඇත්තටම හොඳින්, තත්වයට අනුව පන්දුවට පහර දුන්නා. ඔවුන් ලකුණු එකේ ඒවා ලබා ගත්තා. ඒ අතරේ අපිත් ලකුණු කිහිපයක් නිකරුණේ ලබා දුන්නා. නමුත් අපි පන්දුවට පහර දීමේ දී හොඳින් තරගය පාලනය කළා. නමුත් මම කලිනුත් කිව්වා වගේ ශෝචනීය විනිසුරු තීරණ ලැබුණා. විනිසුරුවරුන් විසින් ලබා දුන් සමහර තීරණ ගැන අපි ඇත්තටම කලකිරීමට පත් වුනා.” 

තරගයෙන් පසුව ඉන්දීය නායිකාව විසින් මෙම තරගයේ විනිසුරු කටයුතු සිදු කළ බංග්ලාදේශ තරග විනිසුරුවරුන් දෙදෙනාව ඉලක්ක කර ගනිමින් එසේ වාග් ප්‍රහාර එල්ල කළා. 

එතැනින් ද නොනැවතුණු Harmanpreet විසින් සම ජයග්‍රාහිකාවන් වූ ඉන්දු – බංග්ලාදේශ කණ්ඩායම් දෙකේ ම ක්‍රීඩිකාවන් එකට සිටිමින් ඡායාරූප ගැනීමට සැරසෙන විට “විනිසුරුවන්ටත් එන්න කියන්න” යනුවෙන් සඳහන් කළ බවයි ESPN cricinfo වෙබ් අඩවිය මගින් හෙළිදරව් කරන්නේ. ඒත් සමඟම බංග්ලාදේශ නායිකා Nigar Sultana විසින් සිය ක්‍රීඩිකාවන් සියල්ල ම සමඟ එතැනින් පිටව යන අයුරු කැමරා කාචයට හසු වී තිබුණා. 

“ඒක සම්පූර්ණයෙන්ම ඇයගේ ප්‍රශ්නයක්. මට කරන්න කිසිම දෙයක් නැහැ. ක්‍රීඩිකාවක් ලෙස ඇයට හොඳ හැසිරීමක් පෙන්වන්න තිබුණා. සිදු වුනේ කුමක් ද කියලා මට කියන්න බැහැ. නමුත් මගේ කණ්ඩායම සමඟ එතැන සිටීම (ඡායාරූප සඳහා) සුදුසු නැහැ කියලා මට හැඟුණා. එය සුදුසු පරිසරයක් නෙවෙයි. ඒ නිසා අපි ආපසු ගියා. ක්‍රිකට් කියන්නේ විනය සහ ගෞරවය සම්බන්ධ ක්‍රීඩාවක්.” 

බංග්ලාදේශ නායිකාව විසින් Harmanpreetගේ හැසිරීම සහ සිය කණ්ඩායම එයට දැක් වූ ප්‍රතිචාරය පිළිබඳ තරගයෙන් පසුව පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවේ දී එසේ සඳහන් කළා. 

එමෙන්ම ඉන්දියාව වෙනුවෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව නියෝජනය කළ Smriti Mandhana විසින් සඳහන් කළේ, Harmanpreetගේ හැසිරීම තරගයේ උණුසුම සහ ඇයට ලැබුණු විනිසුරු තීරණය පිළිබඳ තිබූ නොසතුට නිසා සිදු වූ දෙයක් බවයි. 

එමෙන්ම ICC විසින් මෙවැනි තරග වෙනුවෙන් මධ්‍යස්ථ විනිසුරුවන් පත් කළ යුතු බව ද ඇය මෙහි දී අවධාරණය කළා. 

“ඕනෑම තරගයක මෙවැනි තීරණ පිළිබඳ සතුටට පත් නොවෙන සිදුවීම් වෙනවා. විශේෂයෙන්ම DRS නොමැති විට අපි තරමක් හොඳ මට්ටමේ තරග විනිශ්චයක් බලාපොරොත්තු වෙනවා.” 

මීට අමතරව මෙම තරගය නැරඹීමට පැමිණ ක්‍රීඩාංගණයේ රැඳී සිටි බංග්ලාදේශයේ ඉන්දීය මහ කොමසාරිස් Pranay Kumar Verma හට එම සම්මාන ප්‍රදානෝත්සවයට BCB වෙතින් ආරාධනා නොලැබීම Harmanpreet Kaur විසින් විවේචනය කළා. 

“ඉන්දියාවේ මහා කොමසාරිස්තුමාත් මෙතන ඉන්නවා, මම හිතුවේ ඔබට ඔහුටත් මෙතැනට ආරාධනා කරන්න තිබුණා කියලා. නමුත් ඒකත් කමක් නැහැ.” 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN cricinfo ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<