ධනංජය සහ කුසල් වාර්තාගත සබඳතාවයක

Sri Lanka tour of Pakistan 2026

1
Sri Lanka tour of Pakistan 2026

නායකයා සහ හිටපු නායකයා එක් ව සිව් වැනි කඩුල්ලට මේ දක්වා එකතු කරන ලද නොදැවුණ ලකුණු 249ක සබඳතාවයෙන් කුල්මත් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව, තරගය 3 වැනි දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 404කින් සැරසී තිබුණා.

ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් එක්ව නොදැවී එක් කළ මෙම ලකුණු සබඳතාව  ශ්‍රී ලංකාව, පාකිස්තානයට එරෙහි ව 5 වැනි කඩුල්ලට වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර මෙම වාර්තාව සතු ව තිබුණේ 2009 වසරේ දී Lahore හි දී තිලාන් සමරවීර සහ තිලකරත්න ඩිල්ශාන් එක් ව ලබා සිටි ලකුණු 207යි.

පළමු දින 2 දී ම සත්කාරක පාකිස්තානුවෝ තරගයේ ආදිපත්‍ය සතු කරගෙන සිටි ද අද දවස ඔවුන්ට කිසිසේත් ම සුබ දායක වූයේ නැහැ. ඔවුන් දිනයේ දවා ගන්නේ එක් කඩුල්ලක් පමණක් වන අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඒ වෙනුවෙන් ලකුණු 290ක් ලබා ගන්නවා.

>>කෝඩුකාර පාකිස්තානුවෝ 2 වැනි දිනයේත් ශ්‍රී ලංකාව හඬවයි

Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ 3 වැනි දිනය නිමා වෙද්දී තම පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රතිවාදී පාකිස්තානයට වඩා තවත් ලකුණු 30ක් පිටුපසින් පසු වෙනවා. ඔවුන් මෙම ඉනිම ක්‍රීඩා කරන්නේ පාකිස්තානය තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 434ක ඉනිමට පිළිතුරු ලෙසයි.

මෙම තරගය අද ආරම්භ වෙන්නේ තම පළමු ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 114ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 40ක් ද සහ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 22ක් ද ලබා සිටියා.

දිනයේ දැවී ගිය එක ම ශ්‍රී ලංකා පිතිකරු වූයේ කමිඳු මෙන්ඩිස්. ඔහු දැවී යන විට පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 58ක් ලබා සිටියා. එය ඔහුගේ 19ක් වන ටෙස්ට් තරග දිවියේ 8 වැනි අර්ධ ශතකයයි.

ඔහු ඉනිම හැර යන විට ධනංජය ද සිල්වා හා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 151ක දී ලකුණු 90ක සබඳතාවක් ද ගොඩ නගා තිබුණා.

ඔහුගේ දැවී යෑමෙන් පසුව හිටපු නායකය ධනංජය ද සිල්වාට එකතු වෙන්නේ වත්මන් නායක කුසල් මෙන්ඩිස්. ඔවුන් දෙදෙනා දවස අහවර වෙද්දී තම කඩුලු ආරක්ෂා කර ගත් අතර ඒ අතර කාලයේ දී දෙදෙනා ම ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුනා.

එහි දී ධනංජය ද සිල්වා තම 70ක් වන ටෙස්ට් තරග දිවියේ 14 වැනි ශතකය තමන් මුහුණ දුන් 151 වැනි පන්දුවේ දී වාර්තා කළ අතර දිනය අවසන් වෙද්දී ඔහු පන්දු 241කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සමඟින් ලකුණු 167ක් ලබා සිටියා. එය ඔහු පාකිස්තානයට එරෙහි ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

කුසල් මෙන්ඩිස් තමන් මුහුණ දුන් 152 වැනි පන්දුවේ දී තම ටෙස්ට් තරග දිවියේ පාකිස්තානයට එරෙහි ව වාර්තා කරන ලද මංගල ශතකය වාර්තා කළා. මෙය ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ නායකයෙක් තම මංගල තරගයේ දී ශතකයක් ලබා ගත් පළමු අවස්ථාවයි.

ඔහුගේ මෙම ටෙස්ට් ශතක 2024 වසරට පසුව වාර්තා වන අතර එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 11 වැනි ශතකයයි.

එමෙන් ම ඔහු විදෙස් සංචාරයක දී ශතකයක් වාර්තා කරන්නේ වසර 6කට පසු ව වීමත් විශේෂත්වයක්. තරගය 3 වැනි දිනයට නතර කරන විට ඔහු පන්දු 188කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 117ක් ලබා සිටියා.

ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් එක් ව මේ දක්වා 5 වැනි කඩුල්ලට පන්දු 360ක දී එක් කර ඇති ලකුණු සංඛ්‍යාව, ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ 5 වැනි කඩුල්ලේ වාර්තාව අභිබවා යෑමට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 31ක් පමණයි. එහි වාර්තාව මේ වෙද්දී හිමි කර ගෙන සිටින්නේ තිලාන් සමරවීර සහ තිලකරත්න සම්පත්. ඔවුන් 2005 වසරේ කොළඹ P. Sara Oval පිටියේ පැවැති තරගයේ දී ලකුණු 280ක් ලබා ගනිමින් එම වාර්තාව සතු කර ගෙන සිටිනවා.

පන්දු යැවීමේ දී පෙර දිනයේ සුවිශේෂී දක්ෂතා දැක් වූ කෝඩුකාර Saqib Khan ට අද දැඩි ප්‍රහාරයකට ලක් වීමට සිදු වූ අතර දිනයේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය Mohammad Abbas සතු වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • පාකිස්තානය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 434 (106.3)Azan Awais30, Tayyab Arif 57, Mohammad Taha 51, Babar Azam 50, Saud Shakeel 93, Ghazi Ghori 48, Arafat Minhas 52, අසිත ප්‍රනාන්දු 3/107, ඩිල්ශාන් මදුශංක 3/108
  • ශ්‍රී ලංකාව – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 404 (102.0) ලහිරු උදාර 42, කමිඳු මෙන්ඩිස් 58, ධනංජය ද සිල්වා නොදැවී 167, කුසල් මෙන්ඩිස් නොදැවී 117, Mohammad Abbas 2/64, Saqib Khan2/54

ශ්‍රී ලංකාව තවත් ලකුණු 30ක් පිටුපසින්.

මෙම තරගය හෙට (12) 4 වැනි දිනයටත් ක්‍රියාත්මක විමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන ක්‍රිකට් සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<