පාකිස්තාන ලෝක කුසලාන සහභාගීත්වය ගැන සුබවාදී පණිවිඩයක්

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

324

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තාන කණ්ඩායමේ සහභාගීත්වය පිළිබඳ ඉහළ පෙළේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය ආයතන අතර පැවති රැස්වීම ධනාත්මක ලෙස අවසන් වූ බව මාධ්‍ය වාර්තා කරනවා.

පාකිස්තාන විදෙස් අමාත්‍ය Bilawal Bhutto ඇතුළු පිරිස ලෝක කුසලානයේ දී පාකිස්තාන කණ්ඩායමට 2016 වසරේ ලැබූ පරිදි විශේෂ ආරක්ෂාවක් ඉන්දියාවෙන් හිමි වනු ඇතැයි බලාපොරොත්තු වන අතර පාකිස්තාන දූත පිරිස ඉදිරි දින කිහිපයේ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම ආරක්ෂක ගැටලු පිළිබඳ සොයා බැලීමට පැමිණෙන දූත පිරිස පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කරන ලෙස පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට නියෝග කර තිබෙන බව පාකිස්තාන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

රටවල් අතර තිබෙන දේශපාලන සහ වෙනත් ගැටලු අමතක කර ක්‍රීඩාව දේශපාලනයෙන් වෙන් කිරීමට මෙම තරගාවලිය සඳහා අනුමැතිය ලබා දීමට තීරණය කර තිබෙන අතර එහි පිළිබඳ නිල නිවේදනය ඉතා ඉක්මනින් නිකුත් කරන බව වාර්තා වෙනවා.

ඔක්තෝබර් 05 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීම පිළිබඳ රජයට නිර්දේශ ලබා දීම සඳහා වගකීම පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කමිටුවට ලබා දීමට කටයුතු කර තිබුණා.

ලෝක කුසලානයේ දී පාකිස්තාන කණ්ඩායම හයිද්‍රාබාද්, චෙන්නයි, අහ්මදාබාද්, කල්කටා, බැංගලෝර් සහ චෙන්නයි යන නගර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රීඩා කිරීමට නියමිත අතර ඔවුන් සහභාගී වන වැඩිම අවධානය දිනා ගත් ඉන්දීය තරගය පැවැත්වෙන්නේ අහ්මදාබාද් ක්‍රීඩාංගණයේයි.

තරගාවලියේ අවසන් පූර්ව තරග මුම්බායි සහ කල්කටා නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත නිසා යම්හෙයකින් පාකිස්තාන කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුවහොත් ඔවුන්ගේ අවසන් පූර්ව තරගය කල්කටා නුවර ක්‍රීඩා කරනු ඇත.

පාකිස්තාන කණ්ඩායම සෑම විටම මුම්බායි නගරයෙන් ඉවත්ව ක්‍රීඩා කිරීමට හෝ ආරක්ෂිත ව ගමන් කිරීමට ප්‍රමුඛත්වයක් ලබා දෙන බව ද වාර්තා වෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<