ඉන්දියාවේ දී පැවැත්වෙන Road Safety World Series 2022 තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් ලකුණු 38ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා Legends ක්‍රීඩකයෝ අද (11) සමත් වුනා.

ඕස්ට්‍රේලියාව සමඟ Kanpur හිදී පැවති මෙම තරගයේ  කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා Legends නායක තිලකරත්න ඩිල්ෂාන් එහි වාසිය තමන් ම ලබා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 218ක් ලබා ගත්තා.

ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ඕස්ට්‍රේලියා Legends ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 180ක් පමණයි.

  • ශ්‍රී ලංකා Legends: තිලකරත්න ඩිල්ශාන් (නායක) ඩිල්ශාන් මුණවීර, උපුල් තරංග, චාමර සිල්වා, ජීවන් මෙන්ඩිස්, අසේල ගුණරත්න, නුවන් කුලසේකර, ඉෂාන් ජයරත්න, චමින්ද වාස්, චතුරංග ද සිල්වා, ඉසුරු උදාන
  • ඕස්ට්‍රේලියා Legends: Shane Watson (නායක), Callum Ferguson, Nathan Reardon, Ben Dunk, John Hastings, Cameron White, Brad Hodge, Dirk Nannes, Jason Krejza, Brett Lee, Chadd Sayers

ශ්‍රී ලංකාව මේ ලබා ගත් ලකුණු සංඛ්‍යාව මෙවර තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු සංඛ්‍යාව වුනා. තරගාවලියේ පළමු තරගයේ දී ම ඉන්දීය ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට එරෙහිව කඩුලු 4ක් දැවී ලකුණු 217ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු පන්දුවාර 10 දී ලකුණු 79ක් වාර්තා කළ අතර ඊළඟ පන්දුවාර 10 දී ලකුණු 139ක් වාර්තා කරමින් මේ වාර්තාගත ලකුණු ප්‍රමාණය ලබා ගත්තා. අවසන් පන්දුවාර 5 දී ඔවුන්ගේ ප්‍රහාරාත්මක වේගය පන්දුවාරයකට 13.6ක්.

ඉනිම ආරම්භ කළ ඩිල්ෂාන් මුණවීර සහ තිලකරත්න ඩිල්ෂාන් අතර පළමු කඩුල්ලට සබඳතාව ලකුණු 208ක්. පන්දු 116ක් පුරා ඔවුන්ගේ ඉනිම විහිදී ගියා.

ඉනිමේ පළමු අර්ධ ශතකය වාර්තා කළේ ඩිල්ශාන් මුණවීර. ඔහු හයේ පහරක් එල්ල කරමින් තම අර්ධ ශතකය වාර්තා කරද්දී වැය කර තිබුණේ පන්දු 38ක් පමණයි. ඊට පසු පන්දුවාරයේ දී ඩිල්ෂාන් ද තම අර්ධ ශතකය වාර්තා කළා. ඒ වෙනුවෙන් ඔහු වැය කළ පන්දු ප්‍රමාණය 32ක්. අනතුරුව ඔහු තමන් මුහුණ දුන් 53 වැනි පන්දුවේ දී Brett Leeගේ පන්දුවකට හතරේ පහරක් එල්ල කරමින් තම ශතකය වාර්තා කළා.

එහෙත් එම සිදුවීමෙන් පසු තෙවැනි පන්දුවේ දී තිලකරත්න ඩිල්ෂාන්ගේ ඉනිම අවසන් කිරීමට Brett Lee සමත් වුනා. පන්දුව කෙළින් ම කඩුල්ලේ වැදීමෙන් ඩිල්ෂාන් දැවී යද්දී පන්දු 56කට මුහුණ දී හතරේ පහර 14ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 107ක් ලබා සිටියා.

ඩිල්ෂාන් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ දී වාර්තා කරන ලද එක ම ශතකයත් වාර්තා කරන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිවයි. ඒ 2011 වසරේ දී පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී.

ඩිල්ෂාන්ගේ දැවී යෑමෙන් පන්දු 7කට පසුව ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී ඩිල්ෂාන් මුණවීර පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 95ක් ලබා සිටියා. අනෙක් අන්තයේ සිටි උපුල් තරංග පන්දු 3ක දී ලකුණු 3ක් ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටියා.

පන්දු යැවීමේ දී ඕස්ට්‍රේලියා නායකයා පන්දු යවන්නෝ 6 දෙනෙක් යොදා ගත්තේ එහි දී සාර්ථක වීමට හැකි වූයේ Brett Leeට පමණයි. ඔහු තම පන්දුවාර 4 දී ලකුණු 45කට කඩුල්ලක් දවා ගත්තා.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියා ඉනිමේ ආරම්භය ශ්‍රී ලාංකිකයන්ට එතරම් ම සුබදායක වූයේ නැහැ. ඔවුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සිතු සේ පහර දෙමින් සාර්ථක ලකුණු පුවරුවක් නිර්මාණය කළා. ආරම්භක පිතිකරුවන් වූ Shane Watson සහ Cameron White අතර පළමු කඩුල්ලට සබඳතාව පන්දු 42කට ලකුණු 75ක්.

චතුරංග ද සිල්වා විසින් එම සබඳතාව බිඳ දැමුවේ තිලකරත්න ඩිල්ෂාන්ගේ උඩ පන්දු රැකීමක් ද සමඟයි. දැවී ගිය ක්‍රීඩකයා වූයේ නායක Shane Watson. ඔහු පන්දු 23ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා.

අනතුරුව යැවුණ පන්දුවාරයේ දී Brad Hodge එක් ලකුණකට සීමා කරමින් ද, එතෙක් සාර්ථකව පන්දුවට පහර දෙමින් සිටි ආරම්භක පිතිකරු Cameron White ද ක්‍රීඩාගාරයට යැවීමට ජීවන් මෙන්ඩිස් සමත් වුනා. ඒ වෙද්දී Cameron White පන්දු 22කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.

නැවත වතාවක් සිව්වැනි කඩුල්ලේ දී ඕස්ට්‍රේලියා ඉනිම පියාපත් වරම් ලබා ගන්නා අයුරක් දිස් වුනා. Callum Ferguson සහ Ben Dunk එක් ව සිව්වැනි කඩුල්ලට පන්දු 24ක දී ලකුණු 47ක් එක් කළා. Ben Dunk ලකුණු 11කට දැවී යද්දී, Callum Ferguson පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තා.

නුවන් කුලසේකර විසින් John Hastings (5) සහ Chadd Sayers (0) පිට පිට පන්දු දෙකක දී ක්‍රීඩාගාරයට හරවා යැවෙද්දී, ඕස්ට්‍රේලියා ලකුණු පුවරුව දිස් වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 151ක් ලෙසින්. කුලසේකරගේ ඊළඟ පන්දුවාරයේ දි Jason Krejza දුවද්දී දැවී යද්දී පිට පිට පන්දු දෙකක දී Brett Lee (0) සහ Dirk Nannes (0) ද දවා ගත්තා.

>>Photos – Sri Lanka Legends Vs Australia Legends – 1st Match<<

ඒ අනුව ඕස්ට්‍රේලියා ඉනිම අවසන් වෙද්දී Nathan Reardon පන්දු 19ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී නුවන් කුලසේකර ලකුණු 36කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතරව චතුරංග ද සිල්වා සහ ජීවන් මෙන්ඩිස් අතර කඩුලු 2 බැගින් බෙදී ගිය අතර ඉෂාන් ජයරත්න ද කඩුල්ලක් දවා ගත්තා.

ශ්‍රී ලංකා Legends; කඩුල්ලක් දැවී 218 (20) ඩිල්ෂාන් මුණවීර නොදැවී 95, තිලකරත්න ඩිල්ෂාන් 107

ඕස්ට්‍රේලියා Legends; සියලුම දෙනා දැවී 180 (20) Shane Watson 39, Cameron White 30, Callum Ferguson 29, Nathan Reardon නොදැවී 46, නුවන් කුලසේකර 4/36, චතුරංග ද සිල්වා 2/32, ජීවන් මෙන්ඩිස් 2/14

  • තරගයේ වීරයා: තිලකරත්න ඩිල්ෂාන්

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය සැප්තැම්බර් 13 වැනිදා එංගලන්තය සමඟ Kanpur හිදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳ සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<