දසුන් තවදුරටත් නායකත්වයේ!

ICC Cricket World Cup 2023

1966
ICC Cricket World Cup 2023

2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් ම හොබවනු ඇති බවට Newswire වෙබ් අඩවිය වාර්තා කරනවා.

නිමා වූ ආසියානු කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායකත්වයේ සහ කණ්ඩායමේ යම් වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති බවට පසුගිය දින කිහිපයේ ම සමාජ මාධ්‍යවල ආරංචි පැතිරුණා.

නමුත් එක්දින ලෝක කුසලානය තෙක් දසුන් ශානකගේ නායකත්වය සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව විසින් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් Newswire වෙත සඳහන් කර තිබෙනවා.

නමුත් තවමත් ලෝක කුසලානය සඳහා සහභාගී වීමට නියමිත සංචිතය පිළිබඳව නම් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කිසිදු සඳහනක් සිදු කර නැහැ.

ICC විසින් මෙම මස 28 වැනිදා තෙක් මෙවර ලෝක කුසලානය සඳහා සහභාගී වන කණ්ඩායම් නම් කිරීමට සහ ඒවායේ වෙනස්කම් සිදු කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

එමෙන්ම පසුගිය LPL තරගාවලිය අතරතුර ආබාධයකට ලක් වීම නිසා ආසියානු කුසලානය මග හැරී ගිය වනිඳු හසරංග නැවතත් ආබාධ තත්වයකට පත් වී ඇති බවත්, එම නිසා තේරීම් කමිටු නිලධාරීන් වනිඳුගේ වත්මන් තත්වය පිළිබඳ අවසන් තීරණයක් ලැබෙන තෙක් බලා සිටින බවත් Newswire විසින් තවදුරටත් වාර්තා කරනවා.

කෙසේ වෙතත් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම මස 26 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇති නිසා වනිඳුගේ ආබාධ තත්වය පිළිබඳව ද දැනුවත් වීමෙන් පසුව ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරෙනු ඇති බව විශ්වාස කළ හැකි.

මෙවර ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නියමිත රටවල් අතරින් තවමත් සිය සංචිත ප්‍රකාශයට පත් කර නැත්තේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්තානය පමණයි.

2023 එක්දින ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Newswire ඇසුරෙනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<