Home Sinhala ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට!
Asia Cup 2022 finals Sri Lanka v Pakistan

ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට!

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

924

වසර ගණනාවක් මුළුල්ලේ ලෝකයේම අවධානය දිනා ගත හැකි මට්ටමේ තරගාවලි ජයක් සොයමින් සිටි දක්ෂතාවලින් පරිපූර්ණ යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට අද (11) රාත්‍රියේ ඩුබායි පිටියේ දී තම අරමුණ සාක්ෂාත් කර ගැනීමට හැකි වුනා.

ඒ ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ප්‍රබල පාකිස්තානු කණ්ඩායම ඔවුන්ට හුරුපුරුදු පිටියක දී ම විශිෂ්ට අන්දමින් පරාජයට පත් කරමින්.

අතීත වාර්තා සැලකීමේ දී ඩුබායි පිටිය මුලින් පන්දුවට පහර දෙන කණ්ඩායමට ශාපයක් බඳු වන නිසා දෙපිළේම නායකයින් අද කාසියේ වාසිය දෙස දැඩි උනන්දුවෙන් ඇස ගසාගෙන සිටියා.

කෙසේ නමුත් අවසන් තරග 4ක දී එකදිගට කාසියේ වාසිය ජයගෙන සිටි දසුන් ශානකට සම්භාවිතා පාඩම කියා දෙමින් මෙවර එහි ජය හිමි වුනේ බාබර් අසාම්ටයි. තීරණය ගැන විමසීමටවත් අවශ්‍ය නොවූ අතර මෙවර තරගාවලියේ එකම වතාවක දී පමණක් මුලින් පන්දුවට පහර දී ඇෆ්ගනිස්ථානයට පරාජය වී තිබූ ශ්‍රී ලංකාවට ආරම්භයේ දී ම පීඩනයක් එල්ල කිරීමට එම තීරණය ප්‍රමාණවත් වුනා.

සුපිරි 4 දෙනාගේ වටයේ සඟවා ගත් නසීම් ෂා නම් වේගපන්දු ආයුධය බාබර් අසාම් කල් නොයවාම එළියට ගත් අතර එහි ප්‍රතිඵලය වූයේ නැවත තම රිද්මය සොයාගෙන සිටින කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල ඇතුළට දෝලනය වූ විශිෂ්ට පන්දුවකින් බිඳ වැටීමයි.

අනතුරුව ධනංජය ද සිල්වා “තාක්ෂණික” පහර කිහිපයක් මඟින් පන්දුව හතරේ සීමාවට හරවා යවමින් පීඩනය අඩු කළ ද, අනෙක් අන්තයේ සිටි පැතුම් නිශ්ශංක සහ ධනුෂ්ක ගුණතිලක ඉක්මනින් දැවී යාම කණ්ඩායමට දැඩි අවාසියක් වුනා.

ඉන් අනතුරුව හැරිස් රවුෆ් පැයට කිලෝමීටර් 151ක වේගයෙන් යැවූ පන්දුවක් භානුක රාජපක්ෂගේ පාදයේ දැවටුණු අතර පාකිස්තානුවන් දැඩි විශ්වාසයකින් කළ ඉල්ලීම විනිසුරු මසුදූර් රහ්මන් නිශ්ප්‍රභ කිරීම ශ්‍රී ලංකාවේ සැනසුමට හේතු වුනා. පාකිස්තානය එම තීරණය අභියෝගයට ලක් කළ ද ප්‍රමුඛත්වය හිමි වූයේ පිටියේ විනිසුරු තීරණයටයි.

තරගාවලිය පුරාවට අසාර්ථක වූ ධනුෂ්කගේ දැවී යාමෙන් පසු දසුන් ශානක දඟපන්දු යවන්නන් පන්දු යවමින් සිටි මොහොතේ පිටියට පැමිණීම එතරම් සුබවාදී නොවූ අතර ලකුණු 2කට ඔහුගේ වටිනා කඩුල්ල බිඳ දැමීමට ශදාබ් කාන්ට හැකි වුනා.

එම අවස්ථාවේ වනිඳු හසරංග හෝ චාමික කරුණාරත්න පිටියට පැමිණ පන්දුවාර කිහිපයක් තරගය ඇදගෙන නොයාම ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල තීරණයක් ලෙස සැලකිය හැකි.

මේ අනුව පළමු පන්දුවාර 10 තුල දැකිය හැකි වූ එකම සුබවාදී කරුණ වූයේ ධනංජය ද සිල්වා හතරේ පහර 4ක් සමඟින් පන්දු 21ක දී ලබා ගත් ලකුණු 28යි. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 58කට කඩුලු 5ක් දැවී අසරණ වී සිටිය දී පිටියේ එක්වූ භානුක රාජපක්ෂ සහ වනිඳු හසරංග නාය යමින් තිබූ ඉනිම ශක්තිමත් කරන්නේ ලබා තිබූ ලකුණු සංඛ්‍යාව දෙගුණයක් බවට පරිවර්තනය කරමින්.

එහි දී උපනායකයා ලෙස වගකීම කරට ගන්නට සිදු වූ භානුක විමසිලිමත්ව පන්දුවට පහර දෙද්දී, අනෙක් අන්තයේ සිට වනිඳු හසරංග දිගින් දිගටම පිටියේ හිඩැස් සොයා ගත්තේ ගොඩ නැගෙමින් තිබූ පීඩනය පලවා හරිමින්.

වෙනදා ලකුණු අතර සිටි පිතිකරුවන් වේලාසනින්ම පිටිය හැර යන අයුරු දුකින් බලා සිටි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට නෙතට රසඳුනක් බඳු වූ මෙම ඉනිමට හතරේ පහර 5ක් සහ බැක්වර්ඩ් පොයින්ට් වලට ඉහළින් එල්ල වූ අලංකාර හයේ පහරක් ඇතුළත් වුනා.

වනිඳුගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි චාමික කරුණාරත්න තම ප්‍රහාරක පිතිකරු සගයාට වැඩි වශයෙන් අවස්ථාව ලබා දෙමින් ලකුණු 14ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කරුවා බවට පත්වූ භානුක රාජපක්ෂ තම ප්‍රහාරක වේගය ක්‍රමයෙන් වැඩි කර ගනිමින් නොදැවී ලකුණු 71ක් රැස්කළේ පන්දු 45කට පමණක් මුහුණ දෙමිනි. වෙනදාටත් වඩා පරිණත අලංකාර ඉනිමක් ක්‍රීඩා කළ භානුක හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් එල්ල කළා.

ශ්‍රී ලංකා ඉනිම අතරතුරේ සෙනසුරුගේ දශාව පසු කළ ශදාබ් කාන් එක් වරක් පන්දුව හිසේ වද්දා ගත් අතර තවත් වරක භානුක ලබා දුන් උඩපන්දුවක් බිම අතහැර ගත්තා. එතකින් නොනැවතුනු ඔහු හතරේ සීමාව අසල උඩපන්දුවක් රැක ගනිමින් සිටි අසීෆ් අලිට බාධා කරමින් ස්වකීය හිස ද තලා ගත්තේ කඩුල්ලක් බවට පත්වීමට තිබූ පන්දුව හයේ සීමාවට ද යොමු කරමින්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සම්පූර්ණ ලකුණු පුවරුව 170-6ක් ලෙස සටහන් වුනා.

ඩුබායි වාර්තා කුමක් වුවද අවසන් මහා තරගයක මෙවැනි ලකුණු සංඛ්‍යාවක් අභියෝගාත්මක වන වටපිටාවක පන්දු යැවීම ඇරඹූ දිල්ශාන් මධුශංක එම පීඩනය තරමක් තුනී කරන්නේ අතිරේක ලකුණු පොදියක් සමඟින් පළමු පන්දුවාරයට ලකුණු 12ක් ලබා දෙමිනි.

නමුත් මුල දී සිදු වූ වැරදි ඉතා ඉක්මනින් නිවැරදි කර ගත් ශ්‍රී ලංකාවට පළමු කඩුල්ල ගෙන දෙන්නේ දෙවැනි තරගයට ක්‍රීඩා කරන ප්‍රමෝද් මදුශානුයි. එම පන්දුව දුර්වල එකක් වුවද ලොව අංක දෙකේ T20 පිතිකරු බාබර් අසාම්ව දවා ගැනීමට තරම් ප්‍රමෝද් වාසනාවන්ත වුනා.

එතකින් නොනැවතුනු ප්‍රමෝද් මීළඟ පන්දුවේ දී ෆකාර් සමාන්ගේ කඩුල්ල බිඳ දමන්නේ ඔහුට අඳුරු තරගාවලියක මතක ඉතිරි කරමින්. කෙසේ නමුත් එක් ලකුණක් ලබා සිටි ඉෆ්තිකාර් අහමඩ්ගේ පිත්තේ යන්තමින් දැවටී කුසල් මෙන්ඩිස් අතට ගිය උඩපන්දුවක් සඳහා ශ්‍රී ලංකාව ඉල්ලීම් නොකිරීම තවත් ඉක්මන් කඩුල්ලක් දවා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි කළා.

ඉන් ප්‍රයෝජන ගත් ඉෆ්තිකාර් සහ ලොව අංක එකේ පිතිකරු රිස්වාන් ලකුණු 71ක සබඳතාවයක් ගොඩ නැගූව ද, එය විස්සයි විස්ස තරගයකට උචිත සබඳතාවයක් ද යන්න ප්‍රශ්නයක් වුනා. ඒ ඔවුන් මෙම සබඳතාවය වෙනුවෙන් පන්දු 59ක්ම වැය කිරීම නිසයි.

අවසානයේ අවශ්‍ය ලකුණු ලබා ගැනීමේ වේගය 12ත් පසු කරද්දී පීඩනයට හසු වූ ඉෆ්තිකාර්, ප්‍රමෝද්ගේ වේගය අඩාල කළ පන්දුවකට වැරෙන් පහර දීමට යාමේ දී දැවී ගියා. ඒ කණ්ඩායමේ නොසිටිය ද අද වෙහෙස මහන්සි වී ලකුණු රැසක් නැවතූ අශේන් බණ්ඩාරගේ විශිෂ්ට උඩපන්දුවක් හමුවේයි.

ඇඟේ හයියට වඩා හිතේ හයියෙන් සහ බුද්ධිමත්ව ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව දිගින් දිගටම වේගය අඩාල කරමින් පන්දු යැවීමේ ප්‍රතිඵලය වූයේ පාකිස්තානය හයේ සීමාවෙන් එළියට දැමීමට උත්සාහ කළ පන්දු, උඩපන්දු බවට පත්වීමයි.

මීට අමතරව පිටියේ පන්දු රකින්නන් රැඳවීම ද අද අතිවිශිෂ්ට මට්ටමක තිබුණා. ඊට එරෙහිව යමින් ලකුණු වේගය වැඩි කර ගැනීමට කිසිදු අවස්ථාවක් පාකිස්තානු පිතිකරුවන්ට ලැබුණේ නැහැ.

එහි උච්ඡතම සීමාවට ළඟා වෙමින් තම අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ වනිඳු හසරංග ලකුණු 48ක් ලබා සිටි රිස්වාන්, අසීෆ් අලි සහ කුශ්දිල් ෂා එකපිට ක්‍රීඩාගාරයට හරවා යවන්නේ ශ්‍රී ලංකාවට ජය පැන් බීමේ සියලු සුදුසුකම් සපුරා දෙමින්.

මීට පෙර හතරේ සීමාව අසල දී රාමනුල්ලා ගුර්බාස්ගේ තීරණාත්මක උඩපන්දුව වරද්දා ගත් ධනුෂ්කට අද එවැනිම අවස්ථාවක් රිස්වාන්ගෙන් ලැබුණු අතර ඔහු එය සුපිරි උඩපන්දුවක් බවට පත්කර ගත්තේ ඉන් නොනැවතී ශදාබ් කාන්ව ද එවැනිම අනගි උඩපන්දුවක් මගින් පිටියෙන් ඉවත් කරමින්.

ඉනිමේ අවසන් පන්දුව ලෙස චාමිකගේ සුරතින් ගිලිහුණු පන්දුව හැරිස් රවුෆ්ගේ කඩුල්ල බිඳ දැම්මේ දහසක් ප්‍රශ්න මැද දිවි ගෙවන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ දුක් ගිනි ජයග්‍රහණයේ මල් වැස්සෙන් තෙමා දමමිනි.

පන්දු යැවීමේ දී ප්‍රමෝද් මදුශාන් දිනයේ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 34ට කඩුලු 4ක් බිඳ හෙලුවා. ලෝක කුසලානයක් අත ළඟ ශ්‍රී ලංකාව මේ අන්දමින් ලොවක් විස්මයට පත්කරන රිද්මයකට පැමිණීම ක්‍රිකට් ලෝලීන්ගේ නොමද සතුටට හේතුවනු ඇත.

  • තරගයේ හොඳම උඩපන්දුව – අශේන් බණ්ඩාර
  • තරගයේ වීරයා – භානුක රාජපක්ෂ
  • තරගාවලියේ වීරයා – වනිඳු හසරංග

Result


Pakistan
147/10 (20)

Sri Lanka
170/6 (20)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Babar Azam b Haris Rauf 8 11 1 0 72.73
Kusal Mendis b Naseem Shah 0 1 0 0 0.00
Dhananjaya de Silva c & b Iftikhar Ahmed 28 21 4 0 133.33
Danushka Gunathilaka b Haris Rauf 1 4 0 0 25.00
Bhanuka Rajapaksa not out 71 45 6 3 157.78
Dasun Shanaka b Shadab Khan 2 3 0 0 66.67
Wanidu Hasaranga c Mohammad Rizwan b Haris Rauf 36 21 5 1 171.43
Chamika Karunaratne not out 14 14 0 1 100.00


Extras 10 (b 1 , lb 7 , nb 0, w 2, pen 0)
Total 170/6 (20 Overs, RR: 8.5)
Bowling O M R W Econ
Naseem Shah 4 0 40 1 10.00
Mohammad Hasnain 4 0 41 0 10.25
Haris Rauf 4 0 29 3 7.25
Shadab Khan 4 0 28 1 7.00
Iftikhar Ahmed 3 0 21 1 7.00
Mohammad Nawaz 1 0 3 0 3.00


Batsmen R B 4s 6s SR
Mohammad Rizwan c Danushka Gunathilaka b Wanidu Hasaranga 55 49 4 1 112.24
Babar Azam c Dilshan Madushanka b pramod madushan 5 6 0 0 83.33
Fakhar Zaman b pramod madushan 0 1 0 0 0.00
Iftikhar Ahmed c Ashen Bandara b pramod madushan 32 31 2 1 103.23
Mohammad Nawaz c pramod madushan b Chamika Karunaratne 6 9 0 0 66.67
Khushdil Shah c Maheesh Theekshana b Wanidu Hasaranga 2 4 0 0 50.00
Asif Ali b Wanidu Hasaranga 0 1 0 0 0.00
Shadab Khan c Danushka Gunathilaka b Maheesh Theekshana 8 6 1 0 133.33
Haris Rauf b Chamika Karunaratne 13 9 1 0 144.44
Naseem Shah c pramod madushan b Chamika Karunaratne 4 2 1 0 200.00
Mohammad Hasnain not out 8 4 0 0 200.00


Extras 14 (b 0 , lb 0 , nb 2, w 12, pen 0)
Total 147/10 (20 Overs, RR: 7.35)
Bowling O M R W Econ
Dilshan Madushanka 3 0 24 0 8.00
Maheesh Theekshana 4 0 25 1 6.25
pramod madushan 4 0 34 4 8.50
Wanidu Hasaranga 4 0 27 3 6.75
Chamika Karunaratne 4 0 33 2 8.25
Dhananjaya de Silva 1 0 4 0 4.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<