නේපාල නායකයාට අකරතැබ්බයක්

573

නේපාල කණ්ඩායමේ පා දඟපන්දු යවන ක්‍රීඩක මෙන්ම කණ්ඩායමේ නායකයා ද වන Sandeep Lamichhane හට වහාම ක්‍රියාත්මක වන පරිදි තහනමක් පැනවීමට නේපාල ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ කත්මන්ඩු නුවර දී පුද්ගලයෙකුට බලහත්කාරකම් කිරීමේ චෝදනාව මත ඔහුට නිකුත් කළ වරෙන්තුවක් නිසයි.

බ්‍රහස්පතින්දා (08) Sandeep Lamichhaneට විරුද්ධව කත්මන්ඩු පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබූ බව ප්‍රසිද්ධියට පත් වූ අතර එම අවස්ථාවේ ඔහු CPL තරගාවලියට සහභාගී වීම සඳහා කොදෙව් දූපත් වෙත ගොස් තිබුණා.

CPL තරගාවලියේ Jamaica Tallawah කණ්ඩායමට ක්‍රීඩා කරන ඔහු මේ දක්වා කිසිදු තරගයකට සහභාගී වී නොතිබූ අතර එම කණ්ඩායම නිවේදනය කළේ ඔහු වහාම තරගාවලියෙන් ඉවත්ව පිටත් වූ බවයි.

මෙම සිදුවීම ගැන අදහස් දක්වමින් නේපාල ක්‍රිකට් ලේකම්වරයා වන Prashant Vikram ප්‍රකාශ කළේ ඔහුගේ තහනම පරීක්ෂණය අවසන් වන තුරු පැවැත්වෙන බවත්, ඔහුගේ තහනම පිළිබඳ තීරණය ක්‍රිකට් බලධාරීන් අතර පැවති රැස්වීමකින් අනතුරුව ගත් බවයි.

එමෙන්ම තමන්ට මුහුණ පෑමට සිදු වූ මෙම සිදුවීම ගැන Twitter ගිණුමේ සටහනක් තබමින් Sandeep Lamichhane සඳහන් කර තිබුණේ ඔහු අහිංසක බව සහ නේපාලයේ ගෞරවනීය නීති ගැන ඔහු විශ්වාසය තබන බවයි.

මේ වන විට 22 වන වියේ පසුවන Sandeep නේපාලය බිහි කළ සාර්ථකම ක්‍රීඩකයා ලෙස හැඳින්විය හැකි අතර ඔහු විස්සයි විස්ස ලීග් තරග පිටියේ ප්‍රකට තරගාවලි වන ඉන්දීය ප්‍රිමියර් ලීග්, බිග් බෑෂ් ලීග් වැනි බොහෝ තරගාවලි නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

ඔහු දක්ෂ පන්දු යැවීම නිසාවෙන් ඔහුගේ වයස අවුරුදු 17ක් වන විට 2018 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තේරී පත්වීමට ඔහුට හැකි වුනේ තරගාවලියට තේරී පත් වූ පළමු නේපාල ක්‍රීඩකයා බවට පත්වෙමිනුයි.

2018 වසරේ දී නේපාල ජාතික කණ්ඩායමේ වරම් දිනා ගත් Sandeep මේ වන විට නේපාලය නියෝජනය කරමින් එක්දින තරග 30ක් සහ විස්සයි විස්ස තරග 44ක් නියෝජනය කළා.

එක්දින තරග පිටියේ දෙවැනි වේගවත්ම කඩුලු 50 ලබා ගත් ක්‍රීඩකයා සහ විස්සයි විස්ස පිටියේ තෙවැනි වේගවත්ම කඩුලු 50 ලබා ගත් ක්‍රීඩකයා වන ඔහු 2021 වසරේ දී නේපාල කණ්ඩායමේ නායකත්වය පත්වීම විශේෂත්වයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<