අගෝස්තුවේ ICC ක්‍රීඩකයා “සොනාල් දිනූෂ”

ICC Men’s Player of the Month

1
Cricket

එංගලන්තයේ Ollie Robinson සහ බංග්ලාදේශයේ Hasan Mahmud අභිබවා යමින් අගෝස්තු මාසයේ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වීමට 25 වැනි වියේ පසුවෙන සොනාල් දිනූෂ සමත් වෙනවා.

>>අගෝස්තුවේ ICC ක්‍රීඩකයා සම්මානයට සොනාල් ගේ නමත්<<

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් මේ බැව් පෙර දිනයේ (17දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණා. තවමත් ටෙස්ට් තරග 5කට පමණක් ක්‍රීඩා කර ඇති සොනාල් දිනූෂ මෙවන් ඇගයීමකට පත් ප්‍රථම වතාව මෙයයි.

නිමා වූ වසරේ ජුනි මාසයේ දී බංග්ලාදේශයට එරෙහි ව ටෙස්ට් වරම් හිමිකර ගත් සොනාල් දිනූෂ ගේ ටෙස්ට් තරග ඉතිහාසය තරග 5ක ඉනිම් 9ක දී ශතක 3ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 606කින් සමන්විතයි. මේ අතුරින් ලකුණු 410ක් ම ලබා ගන්නේ නිමා වූ ඉන්දීය සංචාරයේ තරග ද්විත්වයේ දී වීම විශේෂත්වයක්.

එම තරගාවලියේ දී ඔහු ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 100ක් ද සහ 2 වැනි ඉනිමේ දී ලකුණු 84ක් ද ලබා ගන්නා ලද අතර ඉන් අනතුරු ව කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී පැවැති 2 වැනි ටෙස්ට් තරගයේ දී පළමු ඉනිමේ ලකුණු 103ක් ද සහ 2 වැනි ඉනිමේ දී නොදැවී ලකුණු 133ක් ද ලබා ගන්නවා. එම තරගයේ වීරයා ලෙසින් සම්මානයට පත් වෙන්නේ ද සොනාල් දිනූෂ.

ඔහු එම තරගාවලිය නිමා කරන්නේ 140.0ක සාමාන්‍යයක්  පවත්වාගෙන වන අතර 2 වැනි ටෙස්ට් තරගයේ 2 වැනි ඉනිමේ දී සොනාල් දිනූෂ විසින් නොදැවී ලබාගත් ලකුණු 133 ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ඉනිමක ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.

සොනාල් දිනූෂ ගේ මෙතෙක් ටෙස්ට් තරග දිවියේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 86.57ක් ලෙස දැක්වෙන අතර ඔහු මේ වෙද්දී ටෙස්ට් තරග පිටියේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 24 වැනි ස්ථානය හිමිකර ගෙන සිටිනවා.

සොනාල් දිනූෂ සමඟින් මෙම සම්මානය සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන 32 හැවිරිදි වියේ පසුවෙන එංගලන්තයේ Ollie Robinson සහ දකුණතින් මඳ වේග පන්දු යවන 26 වැනි වියේ පසුවෙන බංග්ලාදේශයේ Hasan Mahmud ගේ නම් ද නිර්දේශ වී තිබුණා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<