Home Sinhala ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 2 වැනි තරගයත් පරාජය වෙයි

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 2 වැනි තරගයත් පරාජය වෙයි

Sri Lanka tour of England 2026

2
Sri Lanka tour of England 2026

එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට තමන් සහභාගී වූ 2 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයෙන් ද කඩුලු 6ක පරාජයකට මුහුණ දීමට සිදු වූවා. එංගලන්ත ක්‍රීඩකයෝ ලබා ගත් මෙම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් තරග 3කින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙසින් තවත් තරගයක් තිබිය දී ම ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.

Cardiff හී Sophia Gardens ක්‍රීඩාංගණයේ දී (17දා) රාත්‍රී තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 145ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩකයෝ තවත් පන්දු 47ක් ද ඉතිරි ව තිබිය දී කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නවා.

මෙම ජයග්‍රහණය ඔවුන් දෙරට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ පිට පිට ම ලැබූ 14 වැනි ජයග්‍රහණයයි. ශ්‍රී ලංකාව, එංගලන්තයට එරෙහි ව අවසන් වරට විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් ජයග්‍රහණය කර තිබෙන්නේ මීට වසර 12කට පෙර 2014 වසරේ The Oval හි පැවැති තරගයේදීයි.

>>පළමු T20 තරගයේ ජය එංගලන්තයට<<

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනස්කම් ද්විත්වයක් සහිත ව තරග බිමට පිවිසෙන අතර එහි දී කණ්ඩායමේ සිටි ප්‍රධානතම දඟ පන්දු යවන්නන් දෙදෙනා වන දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ විවේක ගන්වා තිබුණා. ඒ වෙනුවට ඔවුන්ගේ ආදේශකයන් වූයේ දෙඅතෙන් ම දඟ පන්දු යැවීමේ හැකියාවෙන් යුත් තරිඳු රත්නායක සහ වමතින් මඳ වේග පන්දු යවන ඩිල්ශාන් මදුශංක. මෙම තරගය තරිඳු රත්නායක ගේ මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයයි.

එංගලන්ත කණ්ඩායම මෙම තරගයේ දී Josh Tongue වෙනුවට Jofra Archer කැඳවා තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම

 

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, ලහිරු උදාර, කමිල් මිෂාර (කඩුලු රකින්නා), කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, වනිඳු හසරංග, තරිඳු රත්නායක, දුෂ්මන්ත චමීර, එශාන් මාලිංග සහ ඩිල්ශාන් මදුශංක.

 

එංගලන්ත කණ්ඩායම

 

Harry Brook (නායක), Jos Buttler (කඩුලු රකින්නා), Aneurin Donald, Tom Banton, Jordan Cox, Will Jacks, Jamie Overton, Liam Dawson, Jofra Archer, Adil Rashid, සහ Sonny Baker.

 

මෙම තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක සහ ලහිරු උදාර තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 33ක දී ලකුණු 56ක් එක් කරනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ ලහිරු උදාර ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පන්දුවේ දී කමිල් මිෂාර තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම ලකුණු නොලබා ම දැවී යනවා.

පැතුම් නිස්සංක ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙමින් 3 වැනි කඩුල්ලට ඉනිම හැර යන විට පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා සිටියා. ඒ වෙද්දී ඔහු එම කඩුල්ලට නායක චරිත් අසලංක හා එක් ව පන්දු 14ක දී ලකුණු 19ක සබඳතාවක් ද එක් කරනවා.

පැතුම් නිස්සංකගේ දැවී යෑමෙන් අනතුරු ව කමිඳු මෙන්ඩිස් ලකුණු 12කට ද සහ දසුන් ශානක ලකුණු 4කට ද තම ඉනිම් හැර ගිය අතර චරිත් අසලංක, වනිඳු හසරංග හා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 34ක දී ලකුණු 44ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 100 එපිට ට ගෙන යනවා.

ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් චරිත් අසලංක දැවී යද්දී පන්දු 31ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටි අතර ඊට පසු කඩුල්ලට දැවී ගිය වනිඳු හසරංග පන්දු 22ක දී හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියා. ඔවුන්ගේ දැවී යෑම් සමඟින් ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය අවසන් කඩුලු 4 ලකුණු 6කට දැවී යන්නේ පන්දු 16ක් තුළදීයි.

දැවී ගිය අනෙක් පිතිකරුවන් වූයේ තරිඳු රත්නායක (4) සහ දුශ්මන්ත චමීර (0)යි. ඉනිම අවසන් වෙද්දී එශාන් මාලිංග ලකුණු නොලබා නොදැවී පිටියේ රැඳී සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Liam Dawson ලකුණු 32කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Jamie Overton සහ Jofra Archer කඩුලු ද්විත්වය බැගින් ද, Sonny Baker සහ Adil Rashid කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Tom Banton. තමන් මුහුණ දුන් 24 වැනි පන්දුවේ දී 42ක් වන තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 5 වැනි අර්ධ ශතකය වාර්තා කළ ඔහු, තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා සිටියා.

ඔහු Jordan Cox (12) හා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 24කින් ලකුණු 57ක සබඳතාවක් එක් කරමින් තරගයේ ජයග්‍රහණය ඉක්මන් කිරිමට ද සැලැස්වුවා.

එංගලන්ත ඉනිමේ ආරම්භක පිතිකරු Jos Buttler පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගන්නවා. ඔහු අනෙක් ආරම්භක පිතිකරු Aneurin Donald හා එක් ව පළමු කඩුල්ලට පන්දු 28ක දී ලකුණු 51ක සබඳතාවක් ද ගොඩ නගන අතර එහි දී Aneurin Donald පන්දු 13ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගන්නවා.

ඔවුන්ට අමතර නායක Harry Brook පන්දු 8ක දී හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 23ක් ද එම ජයග්‍රාහී ඉනිමට එක් කරනවා.

කඩුලු දවා ගැනීමේ දී තරිඳු රත්නායක, එශාන් මාලිංග, දුශ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකාව – කඩුලු 9ක් දැවී 145 (20.0) පැතුම් නිස්සංක 37, ලහිරු උදාර 21, චරිත් අසලංක 31, වනිඳු හසරංග 27, Jofra Archer 2/34, Liam Dawson 3/32, Jamie Overton 2/23
  • එංගලන්තය – කඩුලු 4ක් දැවී 146 (12.1) Jos Buttler 30, Aneurin Donald 21, Harry Brook 23, Tom Banton නොදැවී 52

එංගලන්ත කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

තරගයේ වීරයා – Liam Dawson (එංගලන්තය)

දෙරට අතර පැවැත්වෙන 3 වැනි සහ අවසන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය මේ මස 19 වැනිදා, රාත්‍රීයේ Manchester හී Old Trafford ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Result
Sri Lanka
145/9 (20)
England
146/4 (12.1)
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Harry Brook b Jamie Overton 37 21 4 1 176.19
Lahiru Udara c Jamie Overton b Liam Dawson 21 20 5 0 105.00
Kamil Mishara  c & b Liam Dawson 0 1 0 0 0.00
Charith Asalanka c Jamie Overton b Adil Rashid 31 31 3 0 100.00
Kamindu Mendis b Jamie Overton 12 8 2 0 150.00
Dasun Shanaka c Aneurin Donald  b Liam Dawson 4 4 0 0 100.00
Wanindu Hasaranga c Liam Dawson b Sonny Baker 27 22 2 1 122.73
Tharindu Rathnayake c Harry Brook b Jofra Archer  4 7 0 0 57.14
Dushmantha Chameera b Jofra Archer  0 5 0 0 0.00
Eshan Malinga not out 0 1 0 0 0.00
Extras 9 (b 5 , lb 1 , nb 0, w 3, pen 0)
Total 145/9 (20 Overs, RR: 7.25)
Bowling O M R W Econ
Sonny Baker 4 0 15 1 3.75
Jofra Archer  4 0 34 2 8.50
Will Jacks 1 0 17 0 17.00
Liam Dawson 4 0 32 3 8.00
Jamie Overton 4 0 23 2 5.75
Adil Rashid 3 0 18 1 6.00

Batsmen R B 4s 6s SR
Jos Buttler c Kamil Mishara  b Dushmantha Chameera 30 16 4 1 187.50
Aneurin Donald  c Wanindu Hasaranga b Eshan Malinga 21 13 2 1 161.54
Harry Brook c Eshan Malinga b Wanindu Hasaranga 23 8 1 3 287.50
Tom Banton  not out 52 24 2 4 216.67
Jordan Cox c Lahiru Udara b Tharindu Rathnayake 12 7 0 1 171.43
Will Jacks not out 3 6 0 0 50.00
Extras 5 (b 0 , lb 1 , nb 1, w 3, pen 0)
Total 146/4 (12.1 Overs, RR: 12)
Bowling O M R W Econ
Dilshan Madusanka 2 0 22 0 11.00
Dushmantha Chameera 3 0 29 1 9.67
Wanindu Hasaranga 3 0 42 1 14.00
Eshan Malinga 2.1 0 27 1 12.86
Tharindu Rathnayake 2 0 25 1 12.50

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<