තවත් ක්‍රිකට් විරුවෙකුගෙන් ආන්දෝලනාත්මක තීරණයක්

333

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වමත් ආරම්භක පිතිකරුවෙක් වන ගෞතම් ගාම්භීර් සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට ඊයේ (4) දිනයේ දී තීරණය කර ඇත.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් නම මාරු කරයි

2003 වසරේ අප්‍රේල් මස 11 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ඩකා හිදී පැවති ජාත්‍යන්තර එක්දින තරගයක දී ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හිස්වැස්ම පැලඳ ගත් ගෞතම් ගාම්භීර් එදා සිට මේ දක්වා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 147ක දී ඉන්දියාව නියෝජනය කර තිබේ. එසේම ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සිහිනයක් වන සිය රට වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමේ සිහිනය ගාම්භීර් හට සැබෑ වූයේ 2004 වසරේ නොවැම්බර් 3 වැනිදායි.

ගාම්භීර් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් මංගල ටෙස්ට් වරම් හිමිකරගත් තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. මේ කෝඩුකාර තරුණයා හට සිය මංගල තරගයේ දී ඉනිම දෙකේ දී රැස්කර ගැනීමට හැකි වූයේ පිළිවෙළින් ලකුණු 3ක් හා එක් ලකුණක් පමණි. කෙසේ නමුත් මේ තරගය ලකුණු 13කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම පිළිබඳව ඔහුගේ නිල සමාජ ජාලා මාධ්‍යයක් හරහා අදහස් පළ කළ ගාම්භීර් පවසා සිටියේ ජාත්‍යන්තර  ක්‍රිකට් පිටියට ඊයේ දිනයේ සිට සමුදීමට තීරණය කළ බවයි. කෙසේ නමුත් මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියක් වන රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දිල්ලි කණ්ඩායම නියෝජනය කරනු ලබයි.

සිය උපන් ගම්බිම වන දිල්ලි හිදී පැවැත්වෙන තරගයට පසුව පළමු පෙළ ක්‍රිකට් ඇතුළු සියලුම ක්‍රිකට් තරග සඳහා සමු දීමට මේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් තීරණය කර ඇත.

“මම වසර 15කට ආසන්න කාලයක් මගේ රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව කළා. මට දැන් මේ අපූරු ක්‍රීඩාවෙන් සමුගන්න කාලය හරි.” යැයි ගෞතම් ගාම්භීර් සිය සමුගැනීම නිවේදනය කිරීම වෙනුවෙන් නිකුත් කළ වීඩියෝවේ දී පවසා තිබේ.

සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ටෙස්ට් තරග 58ක් එක්දින තරග 147ක් හා විස්සයි – විස්ස ක්‍රිකට් තරග 37කට ක්‍රීඩා කරමින් අංශයන් තුනේම මුළු ලකුණු 10,324ක් රැස්කරගෙන ඇත්තේ ශතක 20ක් හා අර්ධ ශතක 63ක් ලබා ගෙනයි. ඒ අතරට විස්සයි විස්ස අර්ධ ශතක 7ක් ද අන්තර්ගතව තිබීම ඔහුගේ පිතිකරණයේ දක්ෂතාවය ඉතාමත් හොඳින් පිළිබිඹු කරයි.

නිහඬ ලෝක කුසලානයක උණුසුම ගෙන දුන් ශ්‍රවණාබාධිතයෝ

2007 වසරේ දී පළමු වතාවට පැවති ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ලෝක ශූරතාවය දිනා ගත් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ගාම්භීර් එම තරගාවලිය ඉන්දියාවට ජයග්‍රහණය කිරීම වෙනුවෙන් අවශ්‍ය මඟ විවර කිරීමේ ප්‍රධාන නියමුවාණන් බවට පත්විය. එසේම 2011 වසරේ දී ශ්‍රී ලංකාව අනුශූරයින් බවට පත්කරමින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට තවත් ලෝක ක්‍රිකට් කුසලානයක් දිනා දීමට අවශ්‍ය පසුබිම සකස් කළ ගාම්භීර්

එම අවසන් මහා තරගයේ දී ලකුණු 97ක් ලබාගෙන ඉතාමත් සුපිරි පිතිකරණයක නිරත විය.

එසේම අවසාන වශයෙන් සිය ක්‍රිකට් දිවිය සාර්ථක කරගැනීම වෙනුවෙන් බොහෝමයක් ක්‍රිකට් තරගවල දී ඔහු සමඟ ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කරමින් ඔහුට සහය දැක්වූ විරේන්ද්‍ර ශෙවාග් පිළිබඳව ද යමක් පැවසීමට ගාම්භීර් අමතක නොකළේය. ශෙවාග් හා ගාම්භීර් යන දෙදෙනා මෙතෙක් ලොව ටෙස්ට් ක්‍රිකට් පිටියේ  හොඳම ටෙස්ට් සබඳතාවයන් සඳහා හිමි ලේඛනයේ 8 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ ඉනිම 87කදී ලකුණු 4412ක් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රැස්කරමිනි.

“මගේ මේ වටිනා දිගු ක්‍රිකට් ගමනේ සබඳතාවයන් වර්ධනය කිරීමට ශෙවාග් මට ලොකු සහයක් දුන්නා. ඒ වගේම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්, ඉන්දීය ප්‍රේක්ෂකයින් මගේ මේ ක්‍රිකට් දිවිය පසුපස සෙවණැල්ලක් මෙන් හිටියාට ස්තූතියි.” යැයි ගාම්භීර් සිය විශ්‍රාම ගැනීම නිවේදනය කරමින් නිකුත් කළ වීඩියෝවේ දී අවසන් ලෙස පවසා ඔහුට උදව් කළ අය හට කලගුණ සැලකීමට ද අමතක කළේ නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<