චමරිලා ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව වටයට

20th Asian Games

1
20th Asian Games - 1st Match

ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් කාන්තා ඉසව්වේ පළමු තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, මැලේසියාව පරාජය කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

Nisshin හී Korogi Athletic Park ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් තම ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 160ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මැලේසියා ක්‍රීඩිකාවන්ගේ ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 74කට සීමා වෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

චමරි අතපත්තු (නායිකාව), ඉමේෂා දුලානි, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න, රශ්මිකා සෙව්වන්දි, මිතාලි අයෝධ්‍යා, කෞෂිනී නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි සහ චමුදි ප්‍රබෝධා.

 

මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Mas Elysa (නායිකාව), Ainna Hamizah Hashim, Wan Julia (කඩුලු රකින්නිය), Winifred Duraisingam, Mahirah Izzati Ismail, Nurin Imanina, Dhanusri Muhunan, Nur Dania Syuhada, Nur Arianna Natsya, Nazatul Hidayah Husna Binti Razali සහ Aisya Eleesa.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ ඉමේෂා දුලානි සහ චමරි අතපත්තු. ඔවුන්ගේ සබඳතාව පන්දු 16ක ලකුණු 6කට සීමා වුණා. ඉමේෂා දුලානි දුවද්දී දැවී යෑමකට ලක් වෙමින් ඉනිමේ පළමු කඩුල්ලට දැවී යද්දී ලබා සිටියේ ලකුණු 2ක් පමණයි.

අනතුරු ව කඩුල්ලේ දී නායිකා චමරි අතපත්තු සහ හසිනි පෙරේරා එක් ව පන්දු 53ක දී ලකුණු 80ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ හසිනි පෙරේරා ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය ඉනිම හැර යද්දී පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටියා.

චමරි අතපත්තු ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 63ක් ලබා සිටියා. එය ඇයගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 14 වැනි අර්ධ ශතකයයි.

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව කවීෂා දිල්හාරි හා හර්ෂිතා සමරවික්‍රම එක් වෙමින් 4 වැනි කඩුල්ලට පන්දු 37ක දී ලකුණු 62ක සබඳතාවක් එක් කරනවා. හර්ෂිතා සමරවික්‍රම පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ගිලි හී යනවා.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී කවීෂා දිල්හාරි පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ද සහ හංසිකා කරුණාරත්න නොදැවී ලකුණක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී තවමත් 16 වැනි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන Nurin Imanina ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මැලේසියා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුල්ල ඉනිමේ සිව් වැනි පන්දුවේ දී දුවන්ට යෑමේ දී ගොදුරු කර ගන්නවා. ඉන් අනතුරු ව ඉනිමේ 6 වැනි පන්දු වාරයේ අවසන් පන්දු ද්විත්වයේ දී තවත් කඩුලු ද්විත්වයක් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. ඒ වෙද්දී මැලේසියා ඉනිම කියැවුණේ ලකුණු 25කට කඩුලු 3ක් ලෙසයි.

එම කඩුල්ලෙන් අනතුරු ව මැලේසියා ඉනිමේ හොඳම ලකුණු සබඳතාව එක් වෙනවා. ඒ Winifred Duraisingam සහ Mahirah Izzati Ismail එක්වයි. ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 74ක දී ලකුණු 42ක සබඳතාවක් එක් කරනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ පන්දු 47ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටි Winifred Duraisingam ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ පන්දු 10 දී මැලේසියා කණ්ඩායමට තවත් කඩුලු ත්‍රිත්වයක් අහිමි වෙන අතර Mahirah Izzati Ismail ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී චමරි අතපත්තු, කවීෂා දිල්හාරි සහ මිතාලි අයෝද්‍යා කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 160 (20.0) චමරි අතපත්තු 63, හසිනි පෙරේරා 23, කවීෂා දිල්හාරි නොදැවී 44, හර්ෂිතා සමරවික්‍රම 25, Nurin Imanina 3/29
  • මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 74 (20.0) Winifred Duraisingam 28, Mahirah Izzati Ismail 24, මිතාලි අයෝද්‍යා 2/15, කවීෂා දිල්හාරි 2/04, චමරි අතපත්තු 2/03

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 86ක ජයක්.

මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගත් අතර එම තරග වටය මේ මස 20 වැනිදා ආරම්භ වීමට නියමිතයි. එහි දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත් වෙන්නේ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ඉසව්වේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<