තරගය මැද වලි දාගත්තු දෙන්නටම දඩ

ආසියානු කුසලානය 2022

63

පසුගිය බදාදා (07) ආසියානු කුසලානයේ පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගය අතරතුර ඇති වූ ගැටුම හේතුවෙන් පාකිස්තාන ක්‍රීඩක Asif Aliට සහ ඇෆ්ගනිස්තාන ක්‍රීඩක Fareed Ahmedට දඩ මුදල් සහ දඬුවම් ලකුණු (demerit point) නියම කර තිබෙනවා.

තරගයේ දෙවැනි ඉනිමේ 19 වැනි පන්දුවාරය යවමින් සිටි Fareed Ahmedගේ පන්දුවකට Asif Ali විසින් උඩ පන්දුවක් ලබා දෙමින් කණ්ඩායමේ 9 වැනි කඩුල්ල ලෙස දැවී යන්නේ, එම පන්දුවාරයේම ඊට පෙර පන්දුවකට හයේ පහරක් ද එල්ල කිරීමෙන් අනතුරුවයි.

ඒ මොහොතේ Asif Ali පාකිස්තාන ඉනිමේ ඉතිරිව සිටි එකම පිතිකරු වූ බැවින්, එම කඩුල්ල ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නොමද සතුටට හේතු වූ බවට සැකයක් නැහැ.

මෙම කඩුල්ල දැවී යාමෙන් අනතුරුව පිටියෙන් ඉවත්ව යාමට සැරසෙන Asif Ali වෙතට Fareed Ahmed ඇවිද ගෙන එන්නේ උද්වේගකාරී හැසිරීමක් මුහුණේ ඉරියව් වලින් පෙන්වමින්.

“මේ සිද්ධිය සිදුවන්නේ පාකිස්තාන ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දීයි, Asif Aliගේ දැවී යාමෙන් අනතුරුව ඔහු වෙත එන Fareed Ahmed අනවශ්‍ය අන්දමේ ශාරීරික ගැටීමක් සිදු කළ අතර, මෙයට ප්‍රතිචාර ලෙස පිතිකරුවා තම පිත්ත ඔසවා ආවේගකාරී ලෙස හැසිරෙනු ලැබුවා.”

ICCය විසින් මේ සිදුවීම පිළිබඳ ලබා දුන් ප්‍රකාශයේ එලෙස සටහන් වෙනවා.

එමෙන්ම ඔවුන් මේ සිදු වීමට පාදක වූ ක්‍රීඩකයින් දෙදෙනාට තරග ගාස්තුවෙන් 25%ක දඩයක් සහ දඬුවම් ලකුණු* (demerit point) එක බැගින් ලබා දීමට තීරණය කර තිබෙනවා.

*මෙම දඬුවම් ලකුණ මාස 24කට වලංගු වන අතර, ක්‍රීඩකයකුට මාස 24ක් ඇතුළත demerit point හතරක් ලැබුනහොත් ටෙස්ට් තරග එකක හෝ එක්දින තරග දෙකක තහනමක් ලබා දිය හැකියි.

හිටපු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ප්‍රධානී Shafiq Stanikzai ප්‍රකාශ කර සිටින්නේ Asif Aliට තරග තහනමක් ලබා දිය යුතු බවයි.

Asif Aliගේ මේ හැසිරීම නං ගොඩක් උද්දච්චයි, ඕනෑම පන්දු යවන්නෙක්ට විකට්ටුවක් දවාගෙන ඒක සමරන්න අයිතිය තියෙනවා. Asif Aliට මේ තරගාවලියේ ඉතිරි තරග තහනම් කළ යුතුයි.”

Shafiq Stanikzai Twitter ප්‍රකාශයක් නිකුත් කරමින් එලෙස පවසද්දී, මේ සිදුවීම පිළිබඳ සහ තරගයේ පරාජය ඉවසා ගත නොහැකිව කුපිත වූ ඇෆ්ගන් ප්‍රේක්ෂකයින්ගේ හැසිරීම ද හෙලා දකිමින් හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Shoaib Akhtar, Shafiq Stanikzaiව අමතමින් පවසා සිටින්නේ, ඔවුන්ට ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට අවශ්‍යයි නම්, ඇෆ්ගන් ප්‍රේක්ෂකයින්ට වගේම ක්‍රීඩකයින්ටත් තවත් ඉගෙන ගත යුතු දේවල් ඇති බවයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

Cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<