බැංගලෝරයෙන් රාජස්තානයට දරුණු පහරක්!

IPL 2023

1127

2023 IPL තරගාවලියේ 60 වැනි තරගය Royal Challengers Bangalore සහ Rajasthan Royals කණ්ඩායම් අතර අද (14) පැවැත්වුනා.

ඉන්දියාවේ ජායිපූර් හිදි පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බැංගලෝර් නායක Faf Du Plessis විසින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව සුපුරුදු බැංගලෝර් ආරම්භක පිතිකරුවන් යුගලය පිටියට පිවිසෙමින් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුනේ පන්දුවාර 7ක් තුල දීයි.

මෙහි දී බැංගලෝර් ඉනිමේ පළමු කඩුල්ල ලෙස Virat Kohliව දවා ගැනීමට KM Asif විසින් සමත් වූ අතර, ඒ වන විට Virat විසින් පන්දු 19ක් වැය කර ලබා ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 18ක් පමණයි.

Kohliගේ දැවී යාමෙන් අනතුරුව කඩුල්ලේ එක් වූ Du Plessis සහ Glenn Maxwell විසින් මෙවර තරගාවලියේ සාර්ථක ම පිතිකරුවන් යුගලය තමන් බවට නැවත වරක් සනාථ කරමින් ලකුණු 69ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුනා. එමෙන් ම ඔවුන් දෙදෙනා ම අද දිනයේ අර්ධ ශතක වාර්තා කිරීමට ද සමත් වූ අතර Plessis විසින් ලකුණු 55ක් සහ Maxwell විසින් ලකුණු 54ක් බැංගලෝර් ඉනිමට එකතු කර කළා.

නමුත් ඉනිමේ 18 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුව වන විට ඔවුන් දෙදෙනා ද ඇතුළුව බැංගලෝර් කඩුලු 5ක් බිඳ හෙළීමට රාජස්තානය විසින් සමත් වූ අතර ඒ වන විට බැංගලෝර් ලකුණු පුවරුවේ සටහන් වී තිබුණේ ලකුණු 137ක් පමණයි.

මෙම තරගයේ දී මෙතෙක් කල් බැංගලෝරයේ ප්‍රධානත ම තෝරා ගැනීම් දෙකක් වූ වනිඳු හසරංග සහ Josh Hazelwood වෙනුවට Michael Bracewell සහ Wayne Parnell ව කණ්ඩායමට එක් කර ගැනීමට කණ්ඩායම් කළමණාකාරිත්වය විසින් පියවර ගෙන තිබුණා.

ඒ අනුව බැංගලෝරයේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක් වුනේ ඉන් එක් වෙනස්කමක් වූ Michael Bracewell සමඟ Anuj Rawat වූ අතර, බැංගලෝරය වෙතින් ගිලිහී යමින් තිබූ තරගයේ වාසිය නැවත බැංගලෝරය දෙසට හරවන අන්දමේ ඉනිමක් දියත් කිරීමට Anuj Rawat විසින් මෙහි දී සමත් වුනේ පන්දු 11කින් ලකුණු 29ක් ලබා ගනිමිනුයි.

එහි දී විශේෂයෙන්ම බැංගලෝර් ඉනිමේ අවසන් පන්දුවාරය වෙනුවෙන් මොවුන් දෙදෙනා එක් වී ලකුණු 18ක් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසන් වන විට බැංගලෝරය විසින් කඩුලු 5ක් දැවී ලකුණු 171ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී රාජස්තානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Adam Zampa විසින් සිය පන්දුවාර හතර තුල ලකුණු 25ක් පමණක් ලබා දී කඩුලු 2ක් බිද හෙළීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 176ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමේ අරමුණින් යුතු ව රාජස්තාන් සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරුවන් යුගලය වන Yashasvi Jaiswal සහ Jos Buttler පිටියට පිවිසුනත්, ඔවුන් දෙදෙනා ම කිසිදු ලකුණක් ලබා ගැනීමටත් පෙර නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට බැංගලෝර් ආරම්භක වේගපන්දු යුගලය වන Siraj-Parnell විසින් සමත් වුනා.

ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් පසුව හෝ රාජස්තානයට සාර්ථක පිතිකරණ සබඳතාවක් කරා යෑමට ඉඩ නොතැබූ බැංගලෝර් පන්දු යවන්නන් විසින් දිගින් දිගට ම සිය කඩුලු දඩයම ක්‍රියාත්මක කළා. ඒ අනුව පන්දුවාර 10යි පන්දු 3ක් පමණක් ක්‍රීඩා කිරීමට සමත් වූ රාජස්තානය විසින් සියලු ම ක්‍රීඩකයින් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 59ක් පමණයි.

මෙහි දී බැංගලෝරය විසින් සිය කණ්ඩායමේ සිදු කළ ප්‍රධානත ම වෙනස්කම් දෙක වූ Wayne Parnell සහ Michael Bracewell විසින් පන්දුවාර 6ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 26කට රාජස්තාන් කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඊට අමතරව Karn Sharma විසින් කඩුලු 2ක් ද,Maxwell සහ Mohommad Siraj අතරේ එක් කඩුල්ල බැගින් ද බෙදී ගියා.

IPL ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත් අඩු ම ලකුණු සංඛ්‍යාව වන්නේ 2017 දී Royal Challengers Bangalore විසින් Kolkata Knight Riders හමුවේ සියල්ලන් ම දැවී ලබා ගත් ලකුණු 49යි.

අද දිනයේ රාජස්ථානය විසින් වරක එම වාර්තාවට ද අභියෝග කරන මට්ටමක පසු වුනේ ලකුණු 31කට කඩුලු 6ක් බිඳ වැටීම නිසායි. නමුත් රාජස්තාන් ඉනිමේ ඉහළ ම ලකුණු ලාභියා ලෙසින් ලකුණු 35ක් ලබා ගත් Shimron Hetmeyer නිසා ඔවුන්ට එම අපකීර්තිමත් වාර්තාවෙන් ගැලවීමට අවස්ථාව ලැබුණා. එමෙන් ම රාජස්තානය වෙනුවෙන් Hetmeyerට අමතරව ලකුණු 10 සීමාව ඉක්මවා යාමට හෝ සමත් වුනේ Joe Root පමණයි.

මෙම රාජස්තාන් ඉනිමේ පිතිකරුවන් සිව් දෙනෙකු ම ලකුණු ලබා ගැනීමට පෙර දැවී යාමත් විශේෂත්වයක්.

ඒ අනුව මෙම තරගයෙන් Royal Challengers Bangalore විසින් Rajasthan Royals කණ්ඩායමට එරෙහිව ලකුණු 112ක අතිදැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් වූ අතර මෙම තරගයේ දී බැංගලෝරය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වෙමින් ලකුණු 10කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ Wayne Parnell විසින් තරගයේ වීරයා සම්මාන හිමි කර ගත්තා.

  • Royal Challengers Bangalore 171-5 (20): Faf du Plessis 55, Glenn Maxwell 54, Anuj Rawat 29*, Adam Zampa 2-25, KM Asif 2-42
  • Rajasthan Royals 59-10 (10.3): Shimron Hetmyer 35, Wayne Parnell 3-10, Michael Bracewell 2-16

මෙම පරාජය රාජස්තානයේ Play-Off තරග වටයට පිවිසීමේ බලාපොරොත්තුවලට දැඩි පහරක් එල්ල කළ අතර, බැංගලෝරය ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් IPL ලකුණු සටහනේ 5 වැනි ස්ථානය තෙක් ඉදිරියට ඒමට සමත් වුනා.

එමෙන් ම මේත් සමඟින් බැංගලෝරයට මෙවර තරගාවලියේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට අවකාශය හිමි වුනේ ඔවුන්ගේ දල ලකුණු වේගය (Net Run Rate) පෙර තිබූ සෘණ (-) අගයෙන් ධන (+) අගයකට මාරු වීම නිසායි.

මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<